krshna-wijebandara-passed-away

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (17 වැනිදා) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයනවිට 57 හැවිරිදි වියේ පසුවූ ඔහු මොළයේ ලේ කැටිත්තක් නිසා සිදු කළ යුතු ශල්‍යකර්මයක් හේතුවෙන් මසක පමණ කාලයක් රෝහල්ගතව සිටියේය.මරණයට පත්වූයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.




ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල ප්‍රාදේශීය වාර්තාකරු ලෙස තම පුවත් කලාවේදී ජීවිතය ඇරඹූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මුලින් ලංකාදීප කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර පසුව  ලක්බිම පුවත්පතට හා අනතුරුව ඉරුදින හා අරුණ පුවත්පතටද සම්බන්ධ විය.විශේෂාංග හා ප්‍රවෘත්ති දෙඅංශයේම ලිපි ලීවේය.

ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතුවරයෙකු ලෙසද කටයුතු කළේය. පරිසරය පිළිබඳව සහ කෘෂිකර්මාන්තය පිළිබඳව විශේෂාංග ලේඛනයෙහි වැඩි උනන්දුවක් දැක්වූ හෙතෙම  සහ පරිසරය පිළබඳව ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ලේඛකයෙකි. ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් වලස්පති නමින් ජනප්‍රිය පාරිසරික බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන ගියේය.
ගාල්ල, මැදකීඹිය, මගමුලන පදිංචිව සිටි ක්‍රිෂ්ණ විජේබණ්ඩාර එක්දරු පියෙකු වූ අතර ඔහුගේ බිරිය විශ්‍රාමලත් පාඨශාලාචාරිනියකි.
ඔහුගේ දේහය ගාල්ල මාපලගම බස් ගමන්ගන්නා මාර්ගයේ මැදකීඹිය, මහමුලනවත්ත (කීඹිය ගාමිණී මහා විද්‍යාලය අසල) නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද පස්වරු 6.00 ට බද්දේගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ.