lambda-vaccine

කෝවිඩ් -19 ලැම්ඩා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බවට දැනට පවත්නා තොරතුරු මගින් පෙන්නුම් කෙරෙන බව සොඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
 
කෙසේ වුවද විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේදයෙන් මිනිසා ආරක්ෂා කිරිමේ හැකියාවෙහි වෙනසක් ඇද්ද යන්න පිළිබද තවදුරටත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බවද එම කාර්යාංශය ප්‍රකාශ කළේය.ඒ අනුව නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසුදු කර ගැනීම යන සෞඛ්‍ය පුරුදු මගින් ප්‍රභේදයේ ව්‍යාප්තිය වළක්වාගත හැකි බවත්, මේ පිළිබද ශ්‍රී ලංකාවාසීන්ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දුන්ය. නව ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් වූ වැඩිදුර පැහැදිලි  කිරීමක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ අතර, ඒ අනුව එය පහතින් දැක්වේ.

 "ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නමැති කෝවිඩ් වෛරස ප්‍රභේදය, තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු'. (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබද කතා බහක් ඇති වී තිබෙනවා. දකුණු ඇමෙරිකානු රටක් වන පේරු රාජ්‍යයෙන් පළමුව හමුවූ බවට නිල වශයෙන් වාර්තා වන මෙම ප්‍රභේදය මේ වනවිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30කින් පමණ හඳුනාගෙන තිබෙනවා.

කෝවිඩි - 19 ඇති කරන, විකෘති වෛරස් ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳ ශ්‍රී ලාංකික අපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ.

පසුගිය 2020 වසරෙහි අගෝස්තුවේ මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබද කතාබහ අලුත් වී ඇත්තේ, පේරූ දේශයෙන් වාර්තා වන අධික කෝවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රබේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරින් විසින් සැක පළ කිරීමත් සමගයි. එනමුත්, මෙහිදී අප අවධාරණය කළ යුතු කාරණාව වන්නේ, මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබද  අර්ථකථනය කිරීමේදී ඒ ඒ රටෙහි රෝග හඳුනා ගැනීමට ඇති  පහසුකම්, රෝග හදුනා ගැනීමට හැකි පහසුකම් රෝග හදුනා ගැනීමට  කරන පරික්ෂණ ප්‍රතිශත සහ එම සොඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබද හොද දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්වයන් අනෙක් රටවලට සහ ලෝකයට බලපාන ආකාර පුරෝකථනය කළ යුතු බවයි. දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩල්ටා ප්‍රභේද අයත් වන්නේ, ප්‍රභේන්දය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තීව්‍රතාවකින් යුතු වෛරස ප්‍රභේද ගොනු කර ඇති, දැඩි අවධානයක් යොමු කළ යුතු' (variant of concern) කාණ්ඩයටයි.

ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කළ යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර, එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර තිබෙනවා.පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින්වර, සමහර රටවල් සහ ප්‍රදේශවල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරිම සඳහා සම්පූර්ණ දත්ත තවමත් ලැබී නොමැති අතර, ඊට අදාළ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. දැනට පවතින තොරතුරුවලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා,



ලංකාව තුළද මෙම වෛරස ප්‍රභේදය පිළිබද මෙලෙස කතා බහක් ආරම්භ වීම ඇත්ත වශයෙන්ම අපි සතුටට පත් විය යුතු කාරණාවක්.මෙවැනි, තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබද තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල බලකරයේ ලක්‍ෂණයක්. මෙතෙක් නව කෝවිඩ් වෛරස ප්‍රභේදවලින් ප්‍රවේශම් වීමට අප භාවිත කළ නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දත් පිරිසුදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේද යෙනුත් අපට ආරක්ෂාව සලසනවා. විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේන්දයෙන් අපව ආරක්ෂා කිරිමේ හැකියාවෙහි වෙනසක් ඇතිද යන්න පිළිබද තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුණත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මගින් වටහා ගන්න පුළුවන්.”

(නිදර්ශනී වික්‍රමසිංහ)