lanka-ads-15-

පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් පොලිස් විමර්ශනයට ලක්වූ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ එම දැරියගේ ඡායාරූප අන්තර්ජාලයෙහි පළකළ "lanka-ads.com" නමැති වෙබ් අඩවියේ හිමිකරුත් මූල්‍ය කළමණාකරුත් අධිකරණයට ඉදිරිපත් කළ අතර දැරිය මිලට ගත් 29 වන සැකකරුවන මාලදිවයිනේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු බව කියන මාලදිවයින් ජාතික මොනමනි අසාමිලි නමැත්තාත් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට නියම විය.
බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 5 ක් සම්බන්ධ තොරතුරුද විමර්ශනය කරමින් පවතී.
මෙම සිද්ධියට අදාළ 29 වන සැකකරුවන මාලදිවයින් ජාතිකයා 2018 වර්ෂයේ සිට මෙරට පැමිණ සිටි අයකු වන අතර අන්තර්ජාලයේ පළවූ දැන්වීමට අනුව මෙම දැරිය සමග මීට මාස හතරකට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන් ගෙන ඇති බව වාර්තා විය.


මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයා වූ මොහු මාලදිවයිනේ ඩිරාගු ආයතනයේ සභාපති, මාලදිවයිනේ ජාතික තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ප්‍රධානී ඇතුළු තනතුරු හොබවා ඇති අතර ඔහු මෙරටට පැමිණ පසු අන්තර්ජාලය ඔස්සේ දැරිය හඳුනාගෙන අපයෝජනය කර ඇත.
 තමන් ශිෂ්‍ය වීසා ලබාගෙන මෙරටට පැමිණි බව සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ පවසා ඇත.
අදාළ දැරිය සම්බාහනයක් සඳහා සැකකරු විසින් කොල්ලුපිටියේ පිහිටි මරීනා බීච් හෝටලය රැගෙන විත් ඇත්තේ රුපියල් 20000ක මුදලක් ගෙවා ඇති අතර දැරියට අවුරුදු 21ක් බව ඇය රැගෙන පැමිණි අය තම සේවාදායකයාට දැනුම් දී ඇතැයි ද සැකකාර මාලදිවයින් ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර අධිකරණය වෙත දන්වා සිටියේය.
දැරිය සම්බාහනය කිරීමේ දී ගල්වන ලද තෙල් වර්ගය ගැන තම සේවාදායකයා සෑහීමකට පත් වී නොමැති බව දන්වා සිටි නීතිඥ තුසිත ගුණසේකර, ලිංගික කටයුතු කිරීමට අවශ්‍ය නම් රුපියල් 30000ක් 40000ක් පමණ අවශ්‍ය බව පවසා ඇතැයි දන්වා තිබූ බවද කීය.
ලංකා ඇඩ් ඩොට්කොම් වෙබ් අඩවිය හරහා පලකර තිබූ දැන්වීමකට අදාළව දුරකතන ඇමතුමක් දී සැකකරු දැරිය මිලදී ගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය දැරිය සැකකරු රැගෙන ගිය මරීනා බීච් හෝටලයේ පිරිසකගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අධිකරණයට දන්වා සිටියේය.මාලදිවයින් ජාතික සැකකරු එළැඹෙන 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළාය.



 මෙම බාලවයස්කාර දැරියගේ මව තෙමස් ගැබිණියක වූ අතර මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ ගණිකාවන් තැරැවිකරන්නකු බව කියන 'රජීව් නැමැත්තාට තම දියණියව ලබා දී ඇත්තේ ඇයගේ “නැගණිය" බව පවසමින් බව ළමා හා කාත්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඇය රජීව් නමැත්තා සමග කලක් අනියම් ඇසුරක්ද පවත්වා ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා පැවැසුවේ

බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කරන ලංකා-ඇඩ්ස් ඩොට් කොම් නමැති වෙබ් අඩවිය සැලසුම් සහගතව ක්‍රියාත්මක වී තිබෙනවා. මෙම වෙඩ් අඩවියේ සැකැස්ම තුළ කාර්, ගෙවල්, අලෙවි කරන බවට ව්‍යාජ දැන්වීම් පළ කර ඒවා කළත් දැරියන් හා කාන්තාවන් අලෙවි කරන දැන්වීම් පළ කර තිබෙනවා. මේ අඩවියේ දැරියන් සහ කාන්තාවන් අලෙවි කරන දැන්වීම් හැර වෙනත් වෙනත් දැන්වීම් නැහැ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.කේ. සේනාරත්න පැවැසීය.

අදාළ දැරියගේ මව වන චමිලා ප්‍රියංගනී නමැත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අමිල ඉන්දික කරුණු ඉදිරිපත් කරමින්, තම සේවාදායිකාව මේ වනවිට තුන්මස් ගැබිනියක් බැවින් සහ කොවිඩ් ​වයිරස තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප මත මුදා හරින ඉල්ලා සිටියේය.
ඊයේ උදෑසන වෛද්‍යවරයකු විසින් දැරිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ඉකුත් දින රාත්‍රිය පුරා ඇඬූ කඳුළින් පසුවී ඇති බවත් ‘‘ශෂිප්‍රභා අක්කා ඇප අරන් එළියට ඇවිත් තියෙනවා. ඒ නිසා මට බය යැයි’’ එහිදී දැරිය වෛද්‍යවරයාට පවසා ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.



 මෙම දරුවා ලිංගික කටයුතු සඳහා යොමුකිරීමට යොදා ගත් 'ලංකා -ඇඩ්ස් ඩොට් කොම්' වෙබ් අඩවියේ මීට ටික කලකට ඉහත පළ වූ මෙවැනිමට ආකාරයේ දැන්වීමකින් බාලවයස්කාර පිරිමි දරුවකු වැඩිහිටි කාන්තාවක විසින් මිලදී ගනු ලැබීමෙන් පසු පොරොන්දු වූ මුදල නොගෙවීම මත අදාළ දහසය හැවිරිදි පිරිමි දරුවා මහල් තුනකින් බිමට පැන පාදයක් බිදීමේ සිද්ධියක් බම්බලපිටිය පොලිසියෙන් වාරිතා වී තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි.
මෙවැනි ආකාරයේ නීතිවිරෝධී ලිංගික කටයුතු වෙනුවෙන් දැන්වීම් පලකරන වෙබ් අඩවි ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනයට අදාළව කරුණු අනාවරණය වී ඇති බවත්, කොරෝනා තත්ත්වය හේතූවෙන් මේ වනවිට අන්තර්ජාලයේ ඉගෙනීම් කටයුතු කරන දරුවන් මේ වෙබ් අඩවිවලට නිරායාසයෙන්ම ඇතුළු වීම ව්‍යසනකාරි තත්වයක් මතුව ඇති බැවින් එම වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් දුන්නාය.
වෙබ් අඩවියේ හිමිකරුට හා මූල්‍ය කළමනාකරුට ඇප ලැබිණි.
මෙම සිද්ධියට අදාළව ළමා හා කාත්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.