මින් දින දෙකකට පෙර සඳුදා (26) ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 100 කාන්තා සමනලආර පිහිනුම් අවසන් තරගය ජයග්‍රහණය කරන ලද්දේ මාග්‍රට් මැක්නෙල් නමැති 21 හැවිරිදි චීනයේ උපන් කැනේඩියානු ක්‍රීඩිකාවකි.
ඇය සඳුදා ජාත්‍යන්තර කීර්තියට පත්වූ පසු ඇය සම්බන්ධ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සමග චීනයේ සමාජ මාධ්‍ය මේ වනවිට ඇවිළී ගොස් තිබේ.
එයට හේතුව ඇයගේ චීන මාපියන් ඇය ගැහැණු දරුවෙකු වීම නිසා අතහැර දමන ලදුව පසුව කැනේඩියානු පවුලක් දරුකමට හදාගැනීමයි. ඇයව එසේ අතහැර දමා ඇත්තේ දශක ගණනාවක් තිස්සේ චීනයේ පැවති දරදඩු එක්දරු ප්‍රතිපත්තිය නිසාය. මෙම ප්‍රතිපත්තිය හේතුකොට ගැහැණු දරුවන් ලබන්නට සිටින බව දැනගන්නා ඇතැම් දෙමාපියන් දරු කලලය ගබ්සා කරන්නට හෝ දරුවා ලද පසු අතැර දමන්නට හෝ රහසේ විකුණන්නට කටයුතු කරන බව ප්‍රකට සංසිද්ධියකි.
මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ රන් පදක්කම් දිනාගත් මාග්‍රට් මැක්නෙල් කැනේඩියානු පිහිනුම් ක්‍රීඩිකාව සිය චීන උරුමය වෙනුවෙන් චීනයේ ප්‍රතිපත්තිය ගැන මාධ්‍ය තුළ පෙරළියක් ඇති කළාය. ඉතා මෑත කාලයේ වෙනස්කමකට ලක්කරනතුරු දශක ගණනාවක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තියක් සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කොට සැලකීම පිළිබඳව උණුසුම් කතාබහක් ඇති කළාය.
මෙම කතාබහ තිව්ර කරන්නට තවත් හේතුවූයේ ඇය රන්පදක්කම දිනාගත් තරගයේදී දෙවැනි තැන ලබමින් රිදී පදක්කම දිනාගත්තේ තත්පර 0.05 කින් පසුබෑ චීනයේ ඉහළම පිහිනුම් ශූරිය වූ ෂැං යූෆේ වීමය.
චීන සමාජ මාධ්‍ය තුළ මාග්‍රට් හා ෂැං යූෆේ ගැන කියැවුණ සටහන්වල ලියැවුනේ මේ පදක්කම් දෙකම චීනයට ලැබිය යුත්තක් නොවේද යන්නයි.
මෙම පෙරළිය ගැන හැෂ් ටැග් සහිතව සඳුදා සවස චීන ක්ෂුද්‍ර බ්ලොග් අඩවියක් වන වීබෝ හි ජනප්‍රියම මාතෘකාව බවට පත් වූ අතර එහි මිලියන 400 කට ආසන්න සාකච්ඡා ප්‍රමාණයක් එම පුවත ලබා ගෙන ඇත.
මාග්‍රට් මැක්නෙල් ගේ කතාව චීනයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් සමාජ හා දේශපාලන තත්වයන් පිළිබිඹු කරන්නේ යයි ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැන් ප්රවෘත්ති නිර්මාණයවී ඇත.
මැක්නීල් උපත ලැබුවේ 2000 දී චීනයේ ජියැන්සි පළාතේ යැංසි ගඟේ දකුණු වෙරළේ පිහිටි ජියූජියැන්ග් හි ය. චීන සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් සැකසහිත සටහන් පළකළේ ඇයගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් විසින් ඇයව අතහැර දමා ඇති බවයි. මෙය චීනයේ දැන් අවලංගු කර ඇති එක් දරු ප්‍රතිපත්තිය යටතේ වරක් පොදු සිරිතකි.
බොහෝ චීන පවුල් අතර පුතුන් සඳහා සාම්ප්‍රදායික මනාපයක් පැවතීම හේතුවෙන් 2016 දක්වා ක්‍රියාත්මක වූ දැඩි ප්‍රතිපත්තිය නිසා ගැහැණු ළදරුවන් ගබ්සා කිරීමට, අතහැර දැමීමට හා මරණයට පත් කිරීමට හේතු විය. එමගින් උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය ගැඹුරින් වෙනස්විය.
චීන රජය 2016 දී සියලුම යුවළ සඳහා දරුවන් දෙදෙනෙකු ලබා ගැනීමට අවසර දුන්නේය. මේ වසරේදී දරුවන් තිදෙනෙකුට ඉඩදීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කළේය.
නමුත් බොහෝ චීන අන්තර්ජාල භාවිතා කරන්නන්ට, විශේෂයෙන් කාන්තාවන්ට, මැක්නෙල්ගේ ජයග්‍රහණය දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රතිපත්තියේ හානිකර උරුමය පිළිබඳ විචිත්‍රවත් මතක් කිරීමක් හා ස්ත්‍රී පුරුෂ අසමානතාව සිහිගන්වමින් පවතී.
සඳුදා පැවති තරඟයෙන් පසුව, රිදී පදක්කම දිනාගත් චීන පිහිනුම් ක්‍රීඩිකාව වන ෂැං පැවසුවේ මැක්නෙල් තමාට තරමක් සමීප බවක් දැනුණු බවයි. "ඇය පවුලේ සාමාජිකාවක් බව මට හැඟේ," ෂැං රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පැවසුවාය.
0 Comments