කොළඹ වරාය නගරය වෙනම රාජ්‍යයක් ලෙස හෝ චීන කොලනියක් ලෙස සඳහන් කිරීමේ විශාල වරදක්
තිබෙන බවත් කොමිසම් සභාවක් ලෙස පත් කිරීමට ගත් තීන්දුව නිවැරැදි තීන්දුවක් ලෙස තමන්වහන්සේ දකින
බවත් මෙම ස්වර්ණමය අවස්ථාව ගිලිහීමට නොදී කටයුතු කළ යුතු යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ
අභයතිස්ස හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (19දා) පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේදී
පැවැති ජාතික විද්වද් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවේදීය.
මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.
"කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ සම්මත වීම සඳහා ඉදිරිපත් කර
තිබෙනවා. මේ පනත තුළින් මේ රටේ ස්වාධිපත්‍යයට, ඒකීයභාවයට හානියක් වන බවට අදහසක් පසුගියදා
පළවුණා. එය වැරැදි සහගත, ජනතාව නොමඟ යවනසුලු අදහසක් ලෙස අපි සඳහන් කරනවා. හිටපු
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ කාලයේදී කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ
කොටසක් හැටියට නම් කර තිබෙනවා වගේම එය නාගරික සංවර්ධන අධිකාරියයට පවරා දී තිබෙනවා. ඒ
වගේම නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගෙ ඉඩමක් හැටියට ගැසට් කර තිබෙනවා. එම නිසා මෙය
වෙනම රාජ්‍යයක් ලෙස හෝ චීන කොලනියක් ලෙස සඳහන් කිරීමේ විශාල වරදක් තිබෙනවා.
ඒ වගේම මෙහි මුදල් 99%ක් චීන රජය වෙත යනවා යැයි කතාවක් තිබුණා. එය සම්පූර්ණයෙන්ම වැරැදි
අදහසක්. රටේ ඒකීයභාවය, ස්වාධිපත්‍යය නැති කරන කාරණාවක් යැයි යම්කිසි කෙනෙක් කියනවා නම්
සැලකිල්ලට ගත යුතු කාරණාව වන්නේ රටේ ස්වාධිපත්‍යය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, නිවහල්
භාවය රැකෙන්නේ රට පොහොසත් මිනිසුන් හෙවත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වී සිටියොතිනුයි. ඒ නිසා මේ
හරහා රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගන්නට හැකි වෙනවා. එම නිසා මෙම ව්‍යාපෘතිය හරහා රටේ
ස්වෛරීභාවය නැති වනවා යැයි කීම පිළිගන්නට බැහැ.
මේකට විරුද්ධ කණ්ඩායම් මෙහෙය වන්නේ කවුදැයි අපි සිතිය යුතුයි. එදා ඇමෙරිකන් ආර්ථික කොරිඩෝවට
විරුද්ධව ජාතික විද්වද් භික්ෂු සංසදය කටයුතු කළා. ඒ වගේම කොළඹ වරාය, නැඟෙනහිර ජැටිය අදානි
සමාගමට ලබාදෙන්න සූදානම් වන අවස්ථාවේදීත් ඊට බරපතළ ලෙස මහ සංඝරත්නය ඇතුළු අපේ ජාතික
සංවිධාන විරුද්ධ වුණා. ඒ මේ රටට හානියක් වෙනවා නම් ඒක අරගෙන එන්නේ රනිල් ද මෛත්‍රි ද
ගෝඨාභය ද මහින්ද ද කවුද යන්න පිළිබඳව අපිට වැදගත් නැහැ. අපි ඉන්නේ රට වෙනුවෙන්.
නමුත් මේ රටේ උපන් නූපන් දරුවන්ට පවා අනාගතයේදී ලෝකය ඉදිරියේ නිවහල්ව නැඟීසිටීමට නම්, ලෝකය ඉදිරියේ
ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක පුරවැසියෙක් ලෙස නැඟීසිටීමට නම් අද දවසේ සිදුවෙන රටේ
සංවර්ධනයට අදාළ ආර්ථිකයේ වැදගත් කාරණාවලදී ඒවාට විරුද්ධ වී නතර කරගතහොත් අවසාන වශයෙන්
ලෝකයේ ණය බරින් මිරිකිච්ච ඉතාමත් අවාසනාවන්ත රාජ්‍යයක් බවට පත් වී එදාට දේශීය සම්පත් ජාතික
සම්පත් අන්සතු කරන්න වෙන අවස්ථා ඇති විය හැකියි. එදා හම්බන්තොට වරාය විකුණන විට කිව්වේ ණය
ගෙවාගන්න සල්ලි නෑ කියලයි. ඇමෙරිකාවට ඉන්දියාවට වගේ රටවලට මෙය අහිතකර වේවි යැයි කියන
අදහස ඔවුන්ට තිබෙන්න පුළුවන්.
චීනය මුල්වී වරාය නගරය ඉදිකිරීමට කටයුතු කළාට මෙතැන තිබෙන්නේ චීනය පමණක් කරන ව්‍යාපාර
නොවෙයි.
ඒ නිසා ඕනෑම අයකුට තමන්ගේ ආයෝජන සිදු කළ හැකියි. පසුගිය ආණ්ඩුව මේ සම්බන්ධයෙන්
සමාගමක් පිහිටුවන්න සූදානම් වුණා. නමුත් වර්තමානයේදී කොමිසම් සභාවක් ලෙස පත්කිරීමට ගත් තීන්දුව
නිවැරැදි තීන්දුවක් ලෙස අපි දකිනවා. මෙම කොමිසමට පත් කරන්නේ කවුද යන්න නිශ්චිත භාවයක් තිබෙනවා
නම් එය වැදගත්.
මෙම මාධ්‍ය හමුව සඳහා ජේයෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමි, ජේයෂ්ඨ කථිකාචාර්ය
මාදුරුඔය ධම්මිස්සර හිමි, මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි ඇතුළු ජාතික විද්වද් භික්ෂු සංසදය
නියෝජනය කරන භික්ෂුන් වහන්සේ පිරිසක් සහභාගි වූහ.
කිරුළපන _ චතුර දේශාන් ලියනගේ
0 Comments