ගතින් දුබල වුවත්, සිතින් ශක්තිමත් නම් ලොව ඕනෑම අභියෝගය ජය ගත හැකී බව යළිත් වරක් ලොවට.ඔප්පු කළ මිල්ඩ්‍රඩ් විල්සන් නම් මිත්තනියක පිළිබඳව පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.  ඒ  82 හැවිරිදි වියේ පසුවන ඇය තරුණයන්ට පවා ජයගැනීමට අපහසු වාර්ෂික මඩ තරගයක් දෙවැනි වරටත් සාර්ථකව නිමා කරමිනි.පසුගිය වසරේදීද ඇය මෙම තරගය සාර්ථකව නිමා කළ අතර, ලබන වසරේදීද ඊට ඉදිරිපත් වෙමින් පිට පිට තෙවැනි වසරටත් සිය දක්ෂතා පෙන්නුම් කිරීම ඇගේ බලාපොරොත්තුව වී තිබේ. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම තරගයේදී ඉතාමත් අභියෝගාත්මක කඩඉම් රැසක්ම පසු කිරීමට තරගකරුවන්ට සිදුවෙයි. දැවැන්ත අයිස් ජලය බහාලුමක බැස සිටීමට,

සැතපුමක් දුර මඩ ගොඩක ඇවිදීම, ජලය මත පිහිටවූ ලණුමත ඇවිදීම මෙන්ම, එකිනෙක විශාල පරතරයක් සහිත ඉනිමං පෙති සහිත අඩි 15ක් උස ඉනිමගක් උඩට නැගීම යනාදී ඉසව් ඊට අයත් වෙයි. එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ සිකෙස්ටොන් පළාත් පදිංචි මිල්ඩ්‍රෙඩ්, ස්වයංක්‍රීය භාණ්ඩ අලෙවි යන්ත්‍ර නිෂ්පාදන සමාගමක රැකියාවක් සිදුකළ තැනැත්තියකි. ඇය මෙවර තරගාවලියට සහභාගි වී ඇත්තේ සිය පුත්‍රයාද සමගිනි. "මගේ පුතා මේ මඩ තරගවලට ඉදිරිපත් වෙනවා. මෙම අවස්ථා කිහිපයකදීම පුතාගේ කන්ඩායමේ සාමාජිකයෙකු විදියට තරගවලට ඇවිත් තිබෙනවා. පසුගිය අවුරුද්දේ පුතා මගෙන් ඇහුවා තරගයට ඉදිරිපත් වෙමුද කියලා. හැබැයි ඒ වෙනකොට මට අවුරුදු 80ක්. ඒත් මම මේ තරගයට ඉදිරිපත් වුණා. ජයගත්තා.


දැන් දෙවැනි වරටත් මම ජයගත්තා. ලබන අවුරුද්දෙදිත් මේ තරගයටම ඉදිරිපත් වෙලා තුන්වැනි වරටත් ජයගන්න බලාපොරොත්තු වෙනවා" ඇය පවසා තිබේ.

පළමු අවස්ථාවේදී අයට මේ තරගය පිළිබද අදහස පැමිණීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගෙන් ලබාගත් සහතික කිරීම්ද අනුව ඇය 2019 වසරේදී සිය නගරය තුළදී අදාළ පුහුණුවීම් ආරම්භ කර තිබේ. ඒ වන විට ඇගේ වයස අවුරුදු 80කි. එහෙත් අවසානයේදී ඇය එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. "පුතා ආයිත් සැරයක් මේ අවුරුද්දේ තරගයටත් ඉදිරිපත් වෙමුද කියලා ඇහුවාම මම ඉතාමත් පහසුවෙන් ඔව් පුළුවන් කිව්වා." ඇය පවසයි.

මෙවර ඇය මෙම මඩ තරගය පැය තුනක කාලයකදී නිමා කිරීමට සමත්ව ඇත. ඇගේ පුත්‍රයා වන 47 හැවිරිදි ඩැනීද ඇයත් සමග මෙම තරගයට එක්ව ඇති අතර, ඔහු තරගය පුරාම ඇගේ පිටුපසින් සිට ඇත. මෙම තරගය පසුගියදා යෙදුණු මවුවරුන්ගේ දිනයේදී සංවිධානය වී තිබීමත් විශේෂත්වයකි. "මට ඉතාමත් සතුටුයි මවුවරුන්ගේ දිනයේදී පුතාත් එක්ක මේ තරගයට සහභාගි වෙන්න ලැබීම ගැන.

පළමු අවස්ථාවේදී මට මේ ගැන චකිතයක් තිබුණා. ඒත් මේ අවුරුද්දේදී මම මේ තරඟ පිටියට පිවිසුනාම මට කිසිම අපහසුවක් දැනුනේ නෑ.” ඇය පවසයි.2019 වසරේදී ඇය පළමුවරට මෙම තරගයට ඉදිරිපත් වන විට ඇගේ ස්වාමියා වූ ෆැරල්ද ඇය ධෛර්යමත් කරමින් ප්‍රීතිඝෝෂා කිරීමට සිටියත් මෙවර තරගයට පෙර ඔහු මෙලොව හැර ගියේය. "මට මගේ වයසේ ඉන්න අයට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට දැන් අවුරුදු 80ත් පැනලා. ඒත් මගේ හිත හයියයි. ඒ නිසා අසීරු අභියෝගයක් වුණත් ඕනෑම වයසකදී ජයගන්න එක එතරම් අමාරු දෙයක් නෙමෙයි.” ඇය අවසන් වශයෙන් පවසා තිබේ.