nawalapitiya-incident

නාවලපිටිය රංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක අපයෝජනය කළැයි නාවලපිටිය පොලීසියට අත්අඩංගුවට ගත් දැරියගේ පෙම්වතා, පියා ඇතුළු හයදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා ඊයේ 15 නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වින්දිත දැරියගේ පෙම්වතා බව කියන තිස් දෙහැවිරිදි අයෙකු, දැරියගේ පියා වන හතළිස් දෙහැවිරිදි අයකු ඇතු හය දෙනෙකි.

මෙම දැරිය ඉකුත් 01 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි එම දැරියගේ මව නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම දැරියගේ ඥාතීන් පිරිසක් දැරිය ගල් ගුහාවක සිටි බව කියමින් ඉකුත් 07 වැනිදා දැරිය පොලිසියට බාර කළ බවත් එහිදී බාලවයස්කාරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරී මහානාම මහතාගේ වාර්තාවලට අනුව දැරිය විශාල පිරිසකගෙන් අතවරයට පත්ව ඇති බවට හෙළිවීම මත සිදුකරන ලද විමර්ශනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කලේය.



සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත ඇය වයස අවුරුදු 06 කාලයේ සිටම අපයෝජන වී ඇති බවත් ප්‍රදේශයේ වැඩිහිටි කිහිප දෙනකු සහ දැරියගේ පියාගෙන් ද ඇය අතවරයට පත්ව ඇති බවත් හෙළි වී ඇතැයි ද පොලිසිය කරුණු වාර්තා කළේය. දැරියගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අයකු වන අතර ඇගේ මව දැරිය අසල නිවසක රඳවා තේ දළු කැඩීමේ රැකියාවට ගොස් ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.ඒ අවස්ථාවේ දී දැරිය අසල නිවැසියකු විසින් අපයෝජනය කරනු ලැබ ඇති අතර පසුව දැරියගේ පියා ද දැරිය අපයෝජනය කර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කළේය.

මෙම දැරිය විවාහකයකු ඇසුරු කර ඔහු සමග දින කිහිපයක් ජීවත් වීමෙන් පසුව ඉකුත් 01 වැනිදා ප්‍රදේශයේ ගල්ගුහාවක එම පුද්ගලයා සමග ජීවත්ව ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළව දැරිය අපයෝජන කිරීමට ආධාර අනුබල දුන් දැරියගේ නැන්දණියක ද අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

(ගම්පොළ සුරංග රාජනායක)