බාලවයස්කාර දැරියක පොලිස් ස්ථානයේදී සිප ගැනීමේ චෝදනා මත නෙළුව පොලිසියේ කොස්තාපල්වරයකු ඊයේ (30 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම බාලවයස්කාර දැරිය සිය පෙම්වතා යයි කියන තරුණයෙකු දූෂණයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධව පැමිණිල්ලක් කිරීම සඳහා දැරියගේ මව සමඟ ඉකුත් 29 වැනිදා නෙළුව පොලිසියට පැමිණ තිබේ.
මෙලෙස පැමිණි දැරිය ගැන උවමනාවට වඩා එබිකම් කරමින් සිටි පොලිසියේ කොස්තාපල් වරයෙකු දියණියටත් මවටත් අනවශ්‍ය ලෙස පොලිසියේ රැඳී සිටින ලෙස දන්වා තිබෙන අතර පොලිස් නිලධාරීයා කළ දැනුවත් කිරීම නිසා පසුදින වනතුරු පොලිසියේ රැඳී සිටින්නට සිදුව තිබේ.
දියණියගේ මව පවසන්නේ පැමිණිල්ල ගැන සොයා බලා දූෂක තරුණයා පොලිසියට ගෙන්වා ප්රශ්නය විසඳන බව කියමින් ඒ වන තුරු රැඳී සිටින්නට යයි කියමින් තමුනට 30 වැනිදා උදෑසන වන තුරු පොලිසියේ සිටින්නට වූ බවත්, රැය පහන්වන තුරු පොලිසියේ රැඳී සිටියත් කිසිදු කාන්තා නිලධාරිනියක හෝ නොමැතිව එසේ රඳවා ගැනීම ගැන සැකයක්ද පැවති බවයි.
පසුව තමා හා දියණිය රැඳී සිටි කාමරය වෙත 30 වැනිදා උදෑසන පැමිණි පොලිස් නිලධාරියකු තම දියණිය සිපගත් බව ඇය සඳහන් කළාය.
උදෑසන දැරියගේ මවට දුරකථන ඇමතුමක් පැමිණි අවස්ථාවකදී ඇයව පිටතට යැවූ පොලිස් නිලධාරියකු දැරියගේ විරෝධය මධ්‍යයේ ඇයව සිප වැළඳගනිමින්, ස්පර්ශ කරමින් අපයෝජනයට ලක්කර ඇති බව වාර්තා විය.
සිද්ධිය දුටු මව කෑගසමින් දුවගෙන විත් දියණියව බේරාගෙන ඇති අතර පසුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව ඇය පියවර ගෙන තිබේ.
කාන්තා පොලිස් නිලධාරිනියක හෝ නොමැතිව මේ ආකාරයට පොලිසියේ අණසක යටතේ තමන් තැබුවේ ඇයිද යන්න ප්‍රහේලිකාවක් බවත් නොමනා හැසිරීමට පොලිසියේ සියලු නිලධාරීන් වගකිව යුතු බවත් ඇය කියා සිටින්නීය.ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ගිය මව මේ ගැන පැමිණිලි කළ අතර
මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ විය. චෝදනාවට ලක්ව ඇති නෙළුව පොලිසියේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments