nishan-athukorala-galle

24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයකු තම පන්තියේ 16 හැවිරිදි සිසුවියක පැහැරගෙයාමේ සිද්ධියක් ගාල්ලෙන් වාර්තාවේ.
ගුරුවරයාගේ ගෝලයෙකුවූ සිසුවිය උපකාරක පන්ති පැමිණි අවස්ථාවලදී මිතුරු    වී ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත්, එහෙත් එයට ඇයගේ මව්පියන් කැමැත්ත දක්වා නැති නිසා ඇය පැහැරගෙන යාම සඳහා ඔහු සති කිහිපයක සිට සැලසුම් කර ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිණියගේද උදව් ලබාගෙන ඇති බවත් පරික්ෂණවලදී අනාවරණයවී තිබේ.


පැහැර ගැනීමට ලක්වූ දැරිය ඇගේ නැන්දාගේ මංගල්‍යයක වැඩ වලට සම්බන්ධවීමට සූදානමින් සිට ඇති අතර පසුගිය මැයි මාසයේ විවාහ වීමට සිටි මනාලිය
කොරෝනා නිසා විවාහ උත්සවය කල් දමා ඇත. මේ මංගල්‍යයේ රූපලාවන්‍ය හා ඡායාරූපකරණ කටයුතු භාරගෙන තිබූ රූපලාවණ්‍යගාර හිමිකාරිය මනාලියට කතාකර මංගල්‍යයට මල් කුමරියන් දෙදෙනා සමග ප්‍රී ෂූට් එකක රූගත කිරීමක් කළයුතු බව පවසා ඇත. ඒ අනුව පැහැර ගැනීමට ලක්වූ දැරියත්, මල් කුමරියන් දෙදෙනාත් සමග රූගත කිරීම් සඳහා ජූනි 25 වැනිදා සිකුරාදා දහවල් 11ට පමණ රුපලාවණ්‍යගාරය අසලට පැමිණ තිබේ. මෝටර් රථයකින් පැමිණි ඔවුන් කොට්ටව රක්ෂිතයට ගොස් ඇතත් රූගත කිරීම් කරන්නේ සීතල දොළ ආරණ්‍යය අසල බවත් පැවසීම නිසා ඔවුන් වඳුරඹ පාරේ ආරණ්‍යයක් අසලට  ගොස් ඇත.
 එම ස්ථානයට යනවිට සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ත්‍රිරෝද රථයකින් පැමිණ සිටි සිසුවියට ත්‍රිරෝද රථයට  ගොඩවන ලෙස පවසා තිබෙන අතර, ත්‍රිරෝද රථයට ගොඩ නොවන ලෙස නැන්දා පවසා තිබේ. එහෙත් සැකකරු බලෙන්ම ඇය  ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් ඇතැයි පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත.  
එසේ රැගෙන යනවිට සිසුවිය කෑ ගසා  ඇති අතර, අකුලහේන ප්‍රදේශයේදී මෙය දුටු  යතුරු පැදිකරුවකු කිසියම් කරදරයක් සිදුව ඇති බව සිතා ත්‍රිරෝද රථය පසුපස හඹාගොස් නතරකළ අවස්ථාවේ සැකකරු පලායාමට තැත් කරදී යතුරු පැදිකරුද ඔහු පසුපස එළවාගොස් අල්ලාගෙන තිබිණි.  පසුව පොලිසිය පැමිණ සිසුවිය පොලිස් බාරයට ගෙන තුවාල ලබා සිටි සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.


දර්ශන රූගත කිරීමට එන්නැයි 16 හැවිරිදි සිසුවියක පැහැරගෙන යාමට සම්බන්ධයෙන්  අනුබල දුන්  මෝටර් රථ රියදුරා සහ රූපලාවණ්‍ය ශිල්පිණිය එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශර ඇප දෙකක් මත මුදා හැරීමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සාංජීවනි පතිරණ මහත්මිය ඊයේ (06 )වැනිදා නියෝග කළාය.
උපකාරක පත්ති ගුරුවරයා 20 වැනිදා දක්වා  රිමාන්ඩ් කර තිබේ.මෙහිදී පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිසුවිය  පැහැරගෙන යන ලද ත්‍රිරෝද රථය සහ  මෙම අපරාධයට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවය.  
රිමාන්ඩ් කෙරුණේ නිශාන් අතුකෝරල  නමැති උපකාරක පන්ති ගුරුවරයෙකි.