norochchole-incident

යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සුදු වෑන් රථයකින් පැමිණි තම සැමියා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතර මග දී අමානුෂික ලෙස පහර දී අතරමග දමා ගිය බවට නොරොච්චෝලේ  විවාහක කාන්තාවක් විසින් ඊයේ (30) අලුයම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 
යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරැසී සුදු වෑන් රථයකින් ඊයේ අලුයම 3.00ට පමණ නිවෙසට පැමිණි පිරිසක් සිය සැමියා පැහැරගෙන ගොස් පහර දී ඉලන්තිඅඩිය ප්‍රදේශයේ මග දමා ගිය බවට පනිඅඩියේ පදිංචි කාන්තාවක නොරොච්චෝලේ පොලිසියට දන්වා තිබූ අතර
මෙම සිද්ධියට යොදා ගත් බව කියන වෑන්රථය අනතුරකට ලක්ව පුත්තලම පිටත රවුම් පාරේ මාර්ගයක් අසල දමා ගොස් තිබිය දී පසුව සොයා ගෙන තිබේ.
එහි යුද හමුදා ඇඳුම් කිහිපයක් හමුදා කැප් තොප්පියක් ද ජාතික හැඳුනුම්පතක්,

රියැදුරු බලපත්‍රයක් හා මුදල් පසුම්බියක්ද තිබූ බවත් පොලීසිය පවසයි. නොරොච්චෝල්ලේ පතිඅඩියේ පදිංචි මේරි දර්ශනී නමැත්තියක විසින් ඊයේ (30දා) අලුයම පැමිණ සිදු කළ පැමිණිල්ල අනුව තම ස්වාමිපුරුෂයා සමග තම නිවසේ සිටියදී 29 දා මැදියම් රාත්‍රියේදී සුදු වෑන් රථයකින් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් අවදගත් සිවු දෙනෙකු හා සිවිල් ඇදුමින් සැරසී සිටි පුද්ගලයෙකු තම ස්වමිපුරුෂයා වත රාජා ශ්‍රී කාන්තා (38) අත්අඩංගුවට ගෙන යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ බිරිදකගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ දුන් බවට චෝදනා නගමින් සැමියා වෑන් රථයේ දමාගෙන පැහැර ගෙන ගිය බවත් දන්වා තිබිණි.
පසුව ඉලංතඩිය මුහුදු වෙරළට ච්චේරැගෙන ආ තම ස්වාමියාට පැහැරගෙන ගිය පිරිස අමානුෂිකව පහර දී වෙරළට දමා පලා ගිය බවත් පසුව ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කළ බවත් කියා ඇත.

නොරච්චෝලේ පොලිසියට ලැබුණු තොරතුරු අනුව පොලිසිය වෑන් රථය සම්බන්ධයෙන් දළුව ප්‍රදේශයේ  පවත්වාගෙන යන නාවික හමුදා හා පොලිස් මාර්ග බාධකයට  දැනුම් දී ඇත.  සැකකරුවන් ගමන්ගත් වෑන් රථය මාර්ග බාධකය හරහා ධාවනය කරද්දී නාවික හමුදාව එය නවතන ලෙස අණ කර ඇතත් නොනවත්වා ධාවනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.



පලාගිය වෑන් රථය පසුපස පොලිස් නිලධාරින් යතුරුපැදියකින් හමාගොස් ඇති අතර, එහිදී වේගය පාලනය කරගැනීමට නොහැකිව වෑන් රථය පාලවිය ප්‍රදේශයේ පෙරැළී තිබියදී හමු වූ බව ද පොලිසිය පවසයි. පෙරළුණ වැන් රථයේ සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර, එහි තිබී හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම්, පාවහන්, හිස් වැසුමක්, මුදල් පසුම්බියක්, රියැදුරු බලපත්‍රයක්, ජාතික හැඳුනුම්පතක් ද එහි තිබී සොයාගෙන ඇත.  වෑන් රථය නොරොච්චෝල්ලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් බවත්, පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුව ඇති බව පරික්ෂණෙවලදී හෙළි වූ බවත් පොලිසිය සඳහන් කරයි.  නොරොච්චෝලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.