old-love-arrested

සිව් මසකට පෙර විවාහ දිවියට පත් 21 හැවිරිදී යුද හමුදා සෙබළකු 21 හැවිරිදී පැරණි පෙම්වතිය හමුවිමට පැමිණ බලහත්කාරය පා අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය සඳහන් කරයි.පෙරේදා (3) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකඳුර ප්‍රදේශයේ පදිංචි මන්නාරමේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 21 හැවිරිදි තරුණයෙකි. ඔහු හමුදා සේවයට යාමට පෙර සිට කලක් තිස්සේ කොටදෙණියාව ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක සමග ආදර සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඒ කාලයේදී ඔහු නිතර පෙම්වතියගේ නිවසට ගොස් තිබේ.  මේ තරුණයා 2018දී යුද හමුදාවේ සේවයට ගොස් ඇති අතර, ඉන් පසුව කිසියම් හේතුවක් නිසා එම පෙම්වතිය ඔහු අතහැර දමා ඇති බව පොලිසිය කියයි. ඉන් අනතුරුව එම තරුණියගේ අක්කා මෙම සෙබළා සමග ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.



මෙසේ කල්ගත කරන අතර, මෙම සෙබළා මාස හතරකට පමණ පෙරදී එම පෙම්වතියට හොරෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ තරුණියක හා විවාහ දිවියට පත්වී තිබේ. පසුව ඔහු විවාහ වී ඇති බව පෙම්වතියට දැන ගන්නට ලැබී ඇති අතර, පසුගිය දිනක පෙම්වතියගේ නිවසට එන බව සෙබළා ඇයට දැනුම් දී ඇත. තම පියා නිවසේ සිටින බවට මුසාවක් පවසා ඇය එදින ඔහු නිවසට පැමිණීම වළක්වා තිබේ. පසුදින සෙබළා ඇගේ මව පියා හා නැගණිය නැති අවස්ථාවක් බලා නිවසට ගිය අවස්ථාවේදී බලහත්කාරයෙන් ඇය අතවරයට පත් කර ඇතැයි ද පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔහු විවාහකයකු නිසා ආපසු යන ලෙසට දන්වා ඇතත්, ඇයගේ විරෝධය නොතකා ඇය අතවරයට පත්කර සෙබළා ආපසු ගොස් ඇති අතර, ඇය ඒ බව මාපියන්ට දැනුම්දී පොලිසියට පැමිණිලි කර ඇත.තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

පැමිණිල්ල ලද පසු පරික්ෂණ පැවැත්වූ පොලිසිය, සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා හා සහකාර පොලිස් අධිකාරි පාලිත සමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත කොටදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර, උප පොලිස් පරික ලියනගේ ඇතුළු නිලධාරීහු පරික්ෂණ පවත්වති.

(මීරීගම  පුෂ්පකුමාර මල්ලවආරච්චි)