online-lessons-eye-weakness

පවතින වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම නිසා ඔන්ලයින් ක්‍රමවේදය අනුගමනය කරමින්. අකුරු කරන්නට දරුවන්ට සිදුවීම තිබේ. මේ නිසා මෙරට දරුවන් අතරඅක්ෂි දෝෂ හා මානසික වියවුල් ඇතිවීමේ ප‍්‍රවණතාවක් පවතින බව පසුගිය සතියේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබීය. මේ ඒවා පිළිබඳවත්, ඒවා මගහරවාගෙන අකුරු කරන්නටත් ජාතික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්ල මහත්මිය ලබාදෙන උපදෙස් කිහිපයකි.

*කඳුළු ස්ථිර වියළීම

දරුවන්ගේ පාසල් ගමන නතර වී ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගැන්වීම් සිදුකරනවා වගේම බොහෝදෙනා නිවසේ සිට රාජකාරී සිදුකරන්නේත්  ඔන්ලයින් ක්‍රමවේදය හා තාක්ෂණික මෙවලම් භාවිත කරමිනුයි. මේ අවස්ථාවන්වලදී ඇස්වලට යම්කිසි හානියක් සිදුවෙනවාද කියන ප්‍රශ්නය පැන නැගී තිබෙනවා. ඇත්තටම එලෙස ඇස්වලට ගැටලු සිදුවෙනවා. ඔන්ලයින් වැඩි කාලයක් රැදී සිටීම තුළ ඇස්වලට දිගු වෙහෙසක් ඇති කළ හැකියි. ඇස් පිල්ලම් ගැසීම අඩු වීම නිසා ඇස්වල වියළි ස්වභාවයක් ඇතිවෙනවා. අපේ ඇස්වල කදුළු ස්ථරයක් නිතරම තිබිය යුතුයි. මේ කදුළු ස්ථරය ඇහේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යයි. මේ කඳුළු ස්ථරයේ වෙනස්කමක් සිදුවුනොත් එනම් තුනී වීම හෝ වියළි වීම සිදුවුණත් අපිට ඇස්වල රිදීමක් හෝ ඇස්වල බොඳවීමක් සිදුවිය හැකියි. ඔන්ලයින් සිටීම තුළින් ඇස්වල මෙන්න මේ වෙනස්කම් සිදුවිය හැකියි. ප්‍ර

ධාන වශයෙන් ඇස්වල වියළි ගතිය ඇති වන්නේ  මේ තාක්ෂණික උපාංග භාවිත කරන අවස්ථාවේදි ඇපිල්ලම් ගැසීම අඩුවීම නිසයි. සාමාන්‍යයෙන් විනාඩියකට 15 වාරයක් පමණ අස්පිල්ලම් ගැසීම සිදුවේ. නමුත් යම් තිරයක් දෙස බලා සිටීමේදී මෙම වාර ගණන අඩු වී යයි. එවිට කදුළු ස්ථරය ස්වාභාවික අයුරෙන් පැවතීම සිදුනොවේ. ඒ නිසා අපි දරුවන්ට හා අනෙකුත් වැඩිහිටියන්ට කියන්න කැමතියි තිරයක් දෙස බලාගෙන වැඩ කරදී විනාඩි 20කට වරක් තත්පර 20ක් පමණ දෑස් වසා සිටින ලෙසට. ඒ වගේම පන්තියේ ඉගැන්වීම් ඉවර වුණු වහාම මේ මෙවලම් දරුවාගෙන් ඉවත් කරන්නට කටයුතු කළ යුතුයි. එයට හේතුව තමයි මේ මෙවලම් භාවිත කරලා දරුවන් ක්‍රීඩා කරන්නට, වීඩියෝ නරඹන්නට යොමු වෙනවා. මෙහිදී අපි ඉහත සදහන් කළ ගැටලුව තවදුරටත් වැඩි වීමයි සිදුවන්නේ.

*රාත්‍රී කාලයේ ඔන්ලයින් පන්ති.



ඇතැම් වෙලාවල ටියුෂන් පන්ති රාත්‍රී කාලය පුරාම පවත්වන බවට දෙමාපියන් අපට පවසනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඩේටා ගාස්තු අඩුවීම

මෙයට හේතු වී තිබෙනවා. ඒ අනුව අඩු වියදමකින් වැඩි විෂය කරුණු ප්‍රමාණයක් මේ කාලය තුළ දරුවන්ට ලබාදෙන්නට ගුරුවරුන් උත්සාහ කරනවා. මෙය අසාර්ථක කටයුත්තක්. මෙහිදී සිදුවන්නේ ඇස් තවදුරටත් වෙහෙසට පත්වීමයි. තේරුම් ගත යුතු දෙයක් තමයි රාත්‍රිය හා දහවල් කාලය ලෙස කාල දෙකක් ස්වභාවයන් ඇතිවී තිබෙන රාත්‍රියට නිදා ගැනීමටත්, දහවලට ඇහැරී සිටීමටත්.

මේක අපි ඩයනල් රිදම් ලෙස හඳුන්වා දෙනවා. මේ ඩයනල් රිදම් එක කැඩුනොත් ප්‍රශ්න ගණනාවක් ඇතිවෙන්න පුළුවන්. අපේ ඔළුවේ  පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත  තවත් ග්‍රන්ථියක් තිබෙනවා පයිනියල් බොඩී නමින්. මේ ග්‍රන්ථයෙන් මෙලටොනික් නමින් ශ්‍රාවයක් නිකුත් කරනවා. රාත්‍රී කාලයේ ඇහැරගෙන සිටීම නිසා මෙය වෙනස් වෙන්න පුළුවන්. ඒ හරහා බොහෝ දේවල් සිදුවෙනවා. ප්‍රධාන දේ තමයි ආතතිය ඇතිවීම. අපිට කේන්ති යනවා වැඩි වෙනවා, ආහාර ගැනීමේ වෙනස්කම් ඇති වෙනවා. රාත්‍රී කාලයේ ඇහැරිලා සිටින කෙනෙක් දවල් කාලයේ නිදාගත්තා කියලා මේ ප්‍රශ්නය 100%ක් විසදෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාත්‍රියට නිදාගන්නට පැයකට දෙකකට පෙර මෙම තාක්ෂණික මෙවලම් දරුවන් ඉවත් කළ යුතුයි. නිදාගත්ත සුළු වෙලාවකට පෙරත් මේ තාක්ෂණික මෙවලම් ඔවුන් භාවිත කළොත් ඔවුන්ගේ මානසික තත්ව වෙනස් විය හැකියි.

*වර්තන දෝෂ

මීලගට තවත් වැදගත් දෙයක් තමයි කෝවිඩ් වසංගත තත්ත්වය මත මේ ස්ක්‍රීනිං කියන දේ අඩාළ වෙලා තිබෙනවා. අපි ස්ක්‍රීනිං  යනුවෙන් අදහස්

කරන්නේ රෝගයක් නැති කෙනෙක්ට යම්කිසි රෝගයක් තිබෙනවාද යන්න පරික්ෂා කරනවා කියන දෙයයි. ඒ අනුව පාසල් ළමුන් අතර ඇති විය හැකිවන දෝෂ නැත්තම් පෙනීම අඩු වීම වැනි රෝග පාසල් වසා දමා ඇති නිසා ස්ක්‍රීනිං කරන්න බැරී වී යනවා. අපි සාමාන්‍ය තත්ව යටතේ පළවන ශ්‍රේණිය, තුත්වන ශ්‍රේණිය හා පස්වන ශ්‍රේණිය යන වයස්වලදී ළමයින්ව එකකට යොමු කරනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් පාසල්වලට ගිහින් ස්ක්‍රීනිං  එකක් කරනවා. දරුවන් අතර වර්තන දෝෂ තිබෙනවාද යන්න කරන එක ඉතාම වැදගත්. මොකද දරුවෙක් අපිට ඇස් පෙන්වන්න එනකොට කියන දෙයක් තමයි මීට මාස තුනකට වගේ කලින් හොදට හිටියා, මාස දෙකක් තුනක් ඇතුළතයි පෙනීම අඩුවෙලා ගියේ කියන එක. එහෙම වෙන්න පුළුවන්. මොකද ළමයින් අවුරුදු 10ත් 20ත් අතර ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගන්නවා.. ඒ වැඩීම සිදුවන අතරතුර ඇසේ සාමාන්‍ය වර්ධනය අනුපාතිකව නොයාම නිසා ඇතැම් විට වර්තන දෝෂ ඇති වෙනවා. ඇතැම් වර්තන දෝෂ මේ දරුවන් වැඩෙන කාලසීමාවේ ඇති වෙලා පසුව නැති වෙලා යන්න පුළුවන්. සමහර වර්තන දෝෂ අවුරුදු 20න් පසුවටත් පැවතිය හැකියි.

විශේෂයෙන් දෙමාපියන්ට මේ වර්තන දෝෂ තිබී ඇත්නම් දරුවන්ටත් දිර්ඝකාලීනව වර්තන දෝෂ පැවැතිය හැකියි. වර්තන දෝෂ ස්ක්‍රීනිං  කරන එක ඉතා වැදගත්. පාසල් වයසේ දරුවෙකුගේ ඉතාම සුළු වර්තන දෝෂයක් පවා නිවැරදි කළ යුතුමයි. කෙටි විවේක සහිත ඔන්ලයින් පන්ති පවත්වන අවස්ථාවන්වලදී දරුවෙකු දිගින් දිගටම ඇස් රිදෙනවා, බොද වෙනවා, ඔළුව රිදෙනවා වගේ දේවල් කියනවා නම් අක්ෂි වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කළ යුතුයි. පාසල් මට්ටමෙන් සිදුකරන ස්ක්‍රීනිං  සිදුවන් නැති නිසා විෂන් 2020 වැඩසටහන ඔස්සේ නව වැඩසටහනක් හදුන්වා දෙන්නට මේ වනවිට කටයුතු යොදමින් පවතිනවා.

ඒ අනුව ඔන්ලයින් පත්ති පවත්වන අවස්ථාවේදී ගුරුවරයා හරහා දරුවන්ට යම් පෙනීමේ දෝෂයක් පවතින්ද යන්න සොයා බලන්නට මේ හරහා යම් ක්‍රමවේදයක් සකස් කරනු ඇති. සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද  සීමා සහිත නිසා අපි මීට පෙරත් ගුරුවරු හරහා පත්ති කාමරයේදී මෙම කටයුතු සිදුකරනු ලැබුවා. වෙබිනාර් හරහා පාසල් දරුවන්ව ඔන්ලයින් ක්‍රමය හරහා ස්ක්‍රීනිං  කරන ආකාරය ගුරුවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා. මෙහිදී විශේෂිත ඇප් එකක් හරහා දරුවන්ගේ පෙනීම මැන බලන්න ක්‍රමර්වේදයක් ඔවුන්ට හඳුන්වා දුන්නා.

*භාවිත කරන මෙවලම

අපි බැලුවොත් දරුවන් ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය ආදී විවිධ මෙවලම් හරහා ඔන්ලයින් ඉගැන්වීම් වෙත ප්‍රවේශ වෙත පුළුවන්. මෙහිදී ළමයෙක්ට එක දිනකට පැය 4ක පන්තියකට සහභාගී වෙන්නට සිදුවේ නම් අපි කියන්නේ පැය 2ක් පරිගණක තිරයක මෙම කටයුතු සඳහා වූ සහභාගී වී පැය දෙකක් දුරකථනයක තිරය භාවිත කරමින් එකී පාඩම් සඳහා සහභාගී වීමට හැකි නම් යෝග්‍ය වන බවයි. මොකද ලැප්ටොප් එකක් හෝ පරිගණකයක් භාවිත කරදී අපේ ඇස් හොඳින් විවෘතවයි පවතින්. ජංගම දුරකථනයක තිරය දෙස බලද්දී ඇස් යම් ප්‍රමාණයක් වැසී තිබෙනවා. මෙලෙස භාවිත කරන මෙවලම වෙනස් කරන්නෙ හැකියාවක් තිබෙනවා නම් හොදයි.. ඇස් පමණක් නොවෙයි අපි භාවිත කරන උපාංගය භාවිත කරද්දී ඒ දෙස බලන කෝණයත් වැදගත්. මොකද දිගුකාලීනව අපිට මේ ක්‍රමවේදය අනුගමනය කරන්න සිදුවුණිත් බෙල්ලේ මාංශ පේෂි දෝෂ, අස්ථි දෝෂ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා මේ ගැනත් සැලකිලිමත් වීමෙ වැදගත් මීළගට ආලෝක ප්‍රමාණය ගැන බැලුවොත් ස්ක්‍රීන්  ලයිට් එක ගොඩාක් වැඩි නම් ටික වෙලාවක් යන විට ඔළුවට අධික වෙහෙසක් දැනෙන්න පුළුවන්. බිලූ ලයිටි ෆිල්ටර් එකක් භාවිතයට ගත්තත්, ඒවා භාවිතයෙන් අක්ෂි දෝෂ වළක්වාගන්න පුළුවන් කියලා තහවුරු වුණ පිළිගත් පර්යේෂණ නැහැ. කෙසේවෙතත් යම් අක්ෂි දෝෂයක් ඇති බවට සැක අතිවේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අත්‍යවශ්‍යයි.

(නදිශානි පතිරණ)