pcr-test-issues

රජය අනුමත කර නොමැති රසායනාගාර මගින් ජනතාව පෞද්ගලිකව පී.සී.ආර් පක්ෂණ සඳහා යොමුවීම හේතුවෙන් රජයේ සෞඛ්‍ය අංශ ගැටලු ගණනාවකට මුහුණදී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එස් ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසීය.  ඊයේ (29දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මෙසේ පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "කිසියම් රෝගී තත්වයක් හට ගැනීමත් සමග සමහර පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුවත් භාවයකින් තොරව රජය අනුමත කර නොමැති රසායනාගාර වෙත ගොස් පී.සී. ආර්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුවීම හේතුවෙන් එම තත්වය උදා වී තිබෙනවා.උදාහරණ වශයෙන් ගතහොත් මඩම්පැල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසයට අයත් අම්බලයාය ගම්මානයේ එකම පවුලක පස්දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 28දා වාර්තා වී ඇති නමුත් එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට නොහැකි වී ඇත්තේ රජය අනුමත කර නොමැති රසායනාගාරයකින් පරීක්ෂණවලට යොමු වී සිටීම හේතුවෙනුයි.

එවැනි රජය අනුමත කොට නොමැති රසායනාගාරවලින්  පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් පක්ෂණ කරවා ගත්තත් එම ආයතනවලට සහතික නිකුත් කිරීමට බලයක් නොමැතිවීම හේතුවෙන් එම ගැටලුකාරි තත්වයන් හට ගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට හෝ පිරිසකට පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පුද්ගලිකව කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පක්ෂකවරයා මුණ ගැසී හෝ දුරකථනයෙන් විමසා රජය අනුමත කොට ඇති රසායනාගාරයකට යොමු වන ලෙස ඉල්ලා සිටිනවා. මෙම ගැටලුව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන අතර එසේ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට නොහැකි වීම හේතුවෙන් රෝගය පාලනය කිරීමටද බාධා සිදු වනවා." යැයිද පවසා සිටියේය.

(වාරණ ආනන්ද ඉ ජයකොඩි)