කොරෝනා ප්‍රතිදේහ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා කිසිදු මාධ්‍යයකට ලබා නොදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යතනයට දන්වා තිබෙන බව වාර්තාවේ.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් මින් ඉදිරියේ දී ලබා දෙනවා මිස මාධ්‍ය වෙත හෙළි නොකරන බවයි.
මෙම වාර්තා පිළිබඳව තමන්ට කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන ලෙස අමාත්‍යාංශය දන්වා ඇත්තේ මෙය ඉතා සංවේදී කරුණක් නිසා යයි දන්වා ඇතැයිද ඔහු කීය.
ඒ අනුව ඉදිරියේදී ලංකාවේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ පැතිරීම ගැන ආරංචි සීමාවනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් පුවත්පතක් විමසනු ලදුව
කෝවිඩ්-19 ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයන් 19 දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති බවත් ඉන් එක් අයෙකු විදේශිකයෙකු වන බවට වාර්තාවී ඇති බවත් සදහන් කර ඇති අතර ඔහු ඒ සමගම පවසා ඇත්තේ 'සත්‍ය තොරතුරු වසන් කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් දන්නවා මේ ප්‍රභේදය රටේ තියනවා කියලා” යැයිද පවසා ඇත..



මේ දිනවල බෝවන කොරෝනා වයිරසයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ අතර පවසා තිබේ.  කොවිඩ් මරණ අඩු වී ඇත්තේ පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා යැයි පවසා ඇති  විශේෂඥ  වෛද්‍යවරිය, මේ අවස්ථාවේදී රටේ එන්නත්කරණය වේගවත් කළ යුතු බව ද සඳහන් කළාය.

මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත පළමුවෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද දහවල් කියා තිබේ.
මුලින් වාර්තාවූයේ එම තොගය මහනුවරට යවන බව වන නමුත් මෙම එන්නත් තොගය ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ගැබිනි කාන්තාවන්ට ලබා දෙන බව නවතම සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

එන්නත ලබාගත් පළමු දකුණු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවද එය එසේ නොවන බව පසුව වාර්තා කර තිබේ. පසුගිය මාර්තු විසි පස් වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධාන කොවැක්ස් පහසුකම් යටතේ මාලදිවයිනට එම එන්නත් කොටසක් මුල්වරට ලැබී ඇත.



ජුලි දෙවන සතියේ තවත් මාත්‍රා 26,000ක්ද, තුන්වන සතියේ මාත්‍රා 60,000ක් සහ ජුලි 4වන සතියේ මාත්‍රා 90,000ක් ලෙස මෙම මස තුළ පමණක් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලැබීමට නියමිත අතර වසර අවසන් වීමට පෙර ලක්ෂ 50 ක් දක්වා ලැබෙන බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන පවසා තිබේ.

සෙල්සියස් අංශක ඍණ 70 පමණ උෂ්ණත්වයේ මෙම එන්නත ගබඩා කලයුතු හෙයින් අද(05) රැගෙන ආ එන්නත් කටුනායක ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුව වෙත ගෙන යන ලදි.