polpithigama-incident

නිරෝධායනයට ලක් කළ කාත්තාවන් 12දෙනෙකු කෝවිඩ් ආසාදිත කාන්තාවකගේ සුවදුක් බැලීමට එම නිවසට යාම නිසා ඔවුන් සියලුම දෙනාම එකම නිවහනක් තුළ යළි නිරෝධායනය කිරීමට කටයුතු කළ පුවතක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් වාර්තා වේ. 



සිද්ධිය එහි නිලධාරින් පවසන ආකාරයට මෙසේය. මොරගොල්ලාගම අවට ප්‍රදේශයකින් කෝවිඩ් ආසාදිත කතක් හඳුනා ගැනීම නිසා ඇය ඇසුරු කළ සමීපතමයින් සොයා නිරෝධායනය කිරීමට මහජන සොඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත. මේ අතරේ ආසාදිත කාන්තාව රෝහලකට රැගෙන යන තෙක් එම නිවසේ රදවා ඇය සම්බන්ධව පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යන අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් පිරිසක් පලා ගිය අයුරු එම නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී තිබේ.



පලා ගිය පිරිස් සම්බන්ධව නිවසේ සිටි කෝවිඩ් ආසාදිත කාන්තාවගෙන් කරුණු විමසීමේදී එසේ පලා ගිය සියලු දෙනාම නිරෝධායනය කර සිටි කාන්තාවන් බවත්, එහි නිරෝධායනය වු උපාධිධාරී රැකියාවක නියුතු කාන්තාවකගේ අනුදැනුම මත නිරෝධායනය වූ පිරිස ඒකරාශීව කෝවිඩ් ආසාදිත කාන්තාවගේ සුවදුක් බැලීමට එම නිවසට පැමිණි බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.ඉන් අනතුරුව එහි සිට පලා ගිය සියලු දෙනා එම ප්‍රදේශයේ එක් නිවහනකට කැඳවා ඔවුන් එදින සිට දින 21ක් දක්වා යළි එහි ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බවත්, ඔවුන් එම නිවසේ රැදී නොසිට නිරෝධායනය නීති උල්ලංඝනය කිරීමට කටයුතු කරන්න නම් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැඩිදුරටත් පැවසූහ.

(පොල්පිතිගම - සිසිර කැලේගම)