rishard-badurdeen-house

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් 11 දෙනෙකු අතුරින් 7 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ කාන්තාවන් 11 දෙනකු එම නිවසේ සේවයේ නිරතව සිට ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.  මෙම එම 11 දෙනා අතරින් ඉෂාලිනි දැරිය ඇතුළු සිවුදෙනකු මියගොස් ඇති බවද සෙසු දෙනාගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බව ද පොලිසිය කියයි.



මෙම සියලු දෙනාම පාහේ එම නිවසේදී කෘෘරත්වයට ලක්ව ඇති බවම ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉෂාලිනි දැරියට අමතරව එක් සේවිකාවක බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රිය අනතුරකින් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කර ඇති මෙම කාන්තාවන් සියලු දෙනාම ඩයගම හා අවට ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය සඳහන් කරයි. පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් සහ දැරියට පෙර නිවසේ සිටි මෙම කාන්තාවන්ට සිදු වූ හිංසන, අපයෝජන හෝ වෙනත් වරදක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

(ඉන්දිකා රාමනායක)