rishard-girl-court-report

හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මුළුතැන්ගෙයට පිටත  ස්ථානයක පිහිටි මෙම කුඩා කාමරයේ තිබූ විදුලි පංකාව ද ප්ලාස්ටර් යොදා අක්‍රීය කර තිබු බවට විමර්ශනවලදී නිරික්ෂණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මෙම දැරිය සිය දහසය වැනි උපන්දිනයෙන් දින හයකට පසුව මෙහෙකාර සේවය සඳහා හිටපු  අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඇති බවත්,  තැරැව්කරු දැරිය මෙම නිවසට විකුණා ඇත්තේ ඔහුට ඇගේ  දෙමාපියන්ගෙන් ලැබිය යුතු රුපියල් 30,000ක ණය මුදලක් හේතුවෙන් බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,  අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. දැරියගේ මාසික වේතනය පවා බැරවී තිබුණේ තැරැව්කරුගේ ගිණුමට බව ද ඔහු ප්‍රකාශ කළේය.  මෙම සැකකාර තැරැව්කරු, තවත් දරුවන් 11 දෙනකු, හිටපු අමාත්‍යවරයාගේ පවුලේ අය සඳහා මෙහෙකාර සේවයට යොදවා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඉන් තරුණියක හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා  විසින් දූෂණයට ලක්කරනු ලැබ ඇතැයි විමර්ශනයේදී  හෙළිවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.




මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ  මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ පෙරේදා (24)  යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබදීන් අයීෂා, ඇගේ පියා, අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බණ්ඩාර නොහොත් "ශංකර්" පොලිසිය විසින් අධිකරණය  හමුවට පෙරේදා (24) ඉදිරිපත් කරනු ලැබූහ.



පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමග, බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු වැඩිදුර "බී" වාර්තාවක් ද ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.   සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ කේ.සී. තවරාසා, නීතිඥ එන්.එම්. ෂයිඩ් සහ නීතිඥ රුස්ඩ් හබීබ් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.   අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ඉකුත් 03 වැනිදා පිළිස්සීමට ලක්වූ මෙම දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉකුත් 15 වැනිදා මියගොස් ඇති බවත්, බාහිර පිළිස්සීම් තුවාල හේතූවෙන් ඇතිවූ කම්පනයෙන් දැරියගේ මරණය සිදුවී ඇතැයි මරණ පරික්ෂණයේ දී කරුණු අනාවරණය වූ බවත්ය.


එසේම, දැරියගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී ඇති අන්දමට, ඇය ලිංගික ප්‍රවේශයන්ට ලක්වී ඇතැයි හෙළිවී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම සිද්ධියේ පළමු සැකකරුවන ඩයගම පදිංචි  ‘ශංකර්" නමැති තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000/ ක ණය මුදල හිලව් කිරීම සඳහා ඇයගේ මව විසින් මියගිය දැරිය සැකකාර තැරැව්කරුට බාර දෙන ලද අතර, පසුව සැකකරු ඇය අදාළ නිවසට බාරදී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී සඳහන් කළේය. 2004 වසරේ නොවැම්බර් මස 12 වැනිදා උපන් මියගිය  දැරිය ඇයගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී, දින හයකින් එනම් 2020 වසරේ නොවැම්බර් මස 18 වැනිදා මෙම සැකකාරියගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා  - ස්වාමිනී, මෙම දැරිය ජීවත්ව ඇත්තේ අදාළ නිවසෙන් පිටත පිහිටී විදුලි එළියක් වත් නොමැති ඉතා කුඩා කාමරයක. එම කාමරයේ තිබූ විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න බැහැ. ප්ලාස්ටික් දාලා වහලා තියෙන්නේ. රැ වුණාම ඒ කාමරේට දාල වහනවා. එවන් පසුබිමක මේ දැරිය ඉන්න ඇත්තේ කුමන මානසික මට්ටමකද කියලා හිතා ගන්න පුළුවන්  නේද? මේ දැරියගේ පළමු වැටුප ගත්තේ මෙහි පළමු සැකකරු වන තැරැව්කාර ශංකර් කියන පුද්ගලයා. ඒ ඔහුගේ ණය හිලව් කරගන්න. එතැන් පටන් හැම මාසේම දැරියගේ වැටුප බැංකු ගත වෙන්නේ ශංකර්ගේ නමින්. ඔහුගේ ආගරපතන ප්‍රදේශයේ තියෙන බැංකු ගිණුමකට තමයි මේ මුදල් බැර වෙන්නේ. මේ සල්ලි වලින් භාගයක් හැම මාසේම මේ සැකකරු ලබා ගන්නවා. බැංකු  ගිණුම් වලට අදාළ තොරතුරුවලින් අනාවරණය වෙනවා මේ  තැරැව්කරු තැනැත්තන් විකුණලා හැම මාසේම යම් මුදලක් ලබා ගන්නවා කියලා. මොහු මේ ආකාරයෙන් බදුර්දීන්  පවුලට ළමයින් 11 දෙනකු ගෙනල්ලා දිලා තිබෙනවා කියලා දැන් කරුණු හෙළිවෙලා තියෙනවා. ඒ එක් අයකු මෙහි හතරවැනි සැකකරු වන කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් යන අය අතින් අතවරයට ලක් වෙලා කියලා දැන්  හෙළිවෙලා තිබෙනවා.




මේ ආකාරයෙන් මෙහෙකාර  සේවයට එන්නේ දරුවෝ. බදුර්දීන් මහතාටත් මේ වයසේම දහසය හැවිරිදි දියණියක් සිටිනවා. මේ දැරිය දීර්ඝ කාලයක් ලිංගික හිංසනයට පත්වෙලා කියලා වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. මැය මේ ස්ථානයේ සිටියේ හුදකලාවේ, දැඩි මානසික කම්පනයකින්. ඇය නැවත ගෙදර යන්න හිටියේ. ඇය නිවසට යන එක වළක්වන්න නැත්නම් මේ අතවර සම්බන්ධයෙන් වසන් කරන්න කවුරුන් හෝ මේ අපරාධය කළා ද කියලා දැන් පරික්ෂණ පවත්වමින්  සිටිනවා.


මෙහි තෙවැනි සැකකාරිය වන සියාබ්දීන් අයිෂා යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා-  ස්වාමිනී, මගේ දායිකාව අත්අඩංගුවට ගත්ත වෙලාවයි අධිකරණයට ගත්ත වෙලාවයි අතර පරස්පරයක් තියෙනවා. සැකකාරියක අත්අඩංගුවට  ගත් පසු පැය 24ක් ඇතුළත අධිකරණයකට ඉදිරිපත් කළ යුතුයි. ඒත් මේ වනවිට එම කාල සීමාව ඉක්මවලා ගිහිල්ලා. මේක නිතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමක් වෙනවා. නීතිපතිතුමා නීතිය ගැන අනිවාර්යෙන්ම දන්නවා. නමුත්  මේ සම්බන්ධයෙන් මා හබ කරන්න යන්නේ නැහැ. මේ සිද්ධියේ විමර්ශන සිදුවිය යුතුයි. ඒකට අපි සහාය දක්වනවා. පැමිණිල්ලේ ඉල්ලීම්වලට විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකාරිය  ඉකුත් 22 වැනිදා පස්වරුවේ පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකළා. නමුත් ඇය නියම වශයෙන් අත්අඩංගුවට ගත්තේ 23 වැනිදා අලුයම 4.15ට යි. නීති හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයකු ගෘහ මූලිකයා වශයෙන් ක්‍රියාකරන මෙම නිවසේ එවැනි අවාසනාවන්ත සිද්ධියක් හටගැනීම කනගාටුදායකයි. මෙම දැරිය සියදිවි නසා ගත්තාද? නැතිනම් යම් අයකු ඇයගේ ජීවිතය නැති කළාද? යන බරපතළ සැකයක් මතුවෙලා තිබෙනවා. අද සමාජයේ මෙන්ම මහජනතාව අතර ද මේ සිද්ධි පිළිබඳව කැළඹීමක් ඇතිවෙලා.  මෙහි සිවුවැනි සැකකාර මොහොමඩ් ඉස්මත් නමැත්තා  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ තම සේවාදායකයා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවය. මෙම සැකකරුවන් ජූඩ් කුමාර් ඉෂාලිනී යන දහසය හැවිරිදි බාලවයස්කාර දැරියකට නොසලකාහරිමින් කෘරත්වයට පත් කිරීමේ වද හා තැනැත්තන් වෙළදාම් කිරීම අනිවාර්යෙන් හෝ බලහත්කාරයෙන් වැඩ ගැනීම 1995 අංක 22 හා 2006 අංක 16 දරන පනතින් සංශෝධිත වූ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඇ (1), 358 (අ) (1), 308 (1) වන වගන්ති ප්‍රකාරව දඬුවමක් ලැබිය යුතු වරදවල් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.


 මෙම තැනැත්තිය මෙහෙකාර සේවය කළ නිවස තුළ සිදුවූ වදහිංසා, කරදර අපයෝජන හේතුවෙන් ඇති වූ මානසික පීඩනය හේත්තු කොටගෙන සිය දිවි නසා ගැනීමක් සිදුකළේද, නැතහොත් එම නිවස තුළ යම් පුද්ගලයකු විසින් හෝ කිහිප දෙනකු විසින් ලිංගික අපයෝජනයක් හෝ වදහිංසාවකට ලක්කර සාක්ෂි වසන් කිරීමේ අරමුණක් ඇතිව ගිනි තබා ඝාතනය කිරිම සිදුකරනු ලැබුවේද යන සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකළ යුතුව ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.  පිළිස්සුම් තුවාල ලබා මියගිය මෙම දැරිය සිද්ධිය වන අවස්ථාවේදී ඇය අසල තිබූ ලයිටරයක්, භූමිතෙල් කොටසක් අඩංගු ප්ලාස්ටික් බෝතලයක්, ගිනි ගැනීමට ලක්වූ රබර් සෙරප්පු දෙකක් සහ මරණකාරියගේ ඇඳුම් කිහිපයක්, දැරියගේ අංක 7393 දරන උත්පැන්න සහතිකයේ ඡායාස්ථ පිටපතක්, ශිෂ්‍ය කාර්ය දර්ශකයේ ඡායා පිටපතක්, පුවක්පිටිය ප්‍රාථමික දෙමළ විද්‍යාලයට ඇතුළත් කිරිමේ ලේඛනයේ ඡායා පිටපතක්, පැමිණීමේ ලේඛනයේ ඡායා පිටපතක්, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව, මියගිය දැරිය සේවය කළ, නිවසේ ඇයට පෙර සේවය කළ, ඩයගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකට රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා වන, කටුවල මැදවච්චිය ලිපිනයෙහි පදිංචි  කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් යන අය විසින් ස්ත්‍රී දූෂණයක් සිදුකරනු ලැබ ඇති බවට කරුණු අනාවරණය වන අතර, ඒ සම්බන්ධයෙන් වෙනත් "බී" වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද  පොලිසිය අධිකරණයට සිය “බී” වාර්තාවෙන් දක්වා ඇත. මෙම සැකකරු මියගිය මරණකාරියට යම් ලිංගික අතවරයක්, අපයෝජනයක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකිරිම සඳහා ඔහු අත්අඩංගුවට ගත් ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන්වන විමර්ශන පැය 24ක කාලයක් තුළ සිදුකළ නොහැකි බැවින්, 1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් ප්‍රතිපාදන අනුව ළමා අපචාර ගණයට ගැනෙන 308 (අ), 360 (1) ඈ, වගන්ති ප්‍රකාරව වරදවල් අනාවරණය වන බැවින් සැකකරුවන් පැය 72ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන  ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය   මෙම සැකකරුවන් අද (26) පෙරවරු 10.00 තෙක් පොලිසිය භාරයේ රඳවාගෙන විමර්ශනය කර එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

(නිමන්ති රණසිංහ -ලංකාදීප)