rohana-lakshman-piyadasa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී ද තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුවිශාල සේවයක් කළත් මැතිවරණයට සන්ධාන ගත වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීමට පොරොන්දු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර,  අමාත්‍ය ධුර පොරොන්දු ප්‍රකාරව නුදුන් බවත්, ඇමැති මණ්ඩලයේ සිටියත් නැතත් මෙම ක්‍රියාවලිය මෙහෙය වනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (03) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.


මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත්තත් එම ජයග්‍රහණයට විශාල සාධකයක් වූ සන්ධානයේ අනෙකුත් පක්ෂවලට කෙණහිලිකම් කරමින් එකඟතා සියල්ලම කඩ කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු  පිරිසක් කටයුතු කළා.

වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාව, අවනීතිය, රජ කරනවා නම් අපි  විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතුයි. කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. විශේෂඥවරුන් වෙනම ඉන්නවා. මේ දෙගොල්ලන්ටම ඉහළින් වෙනමම කණ්ඩායමක් තීන්දු ගන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක්. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගන්න කවුරුත්  විශ්වකර්මයන් නැහැ. බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුව තුළ ඉහළින් ඉඳන් තීන්දු තීරණ ගන්නේ. ඒ බව කවුරුත් දන්නවා. සන්ධානය තුළ අර්බුද ඇති කරන්න ඔහු මුල් වුණා. ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ පක්ෂ ඉන්පසු කොන් කළේ එතුමයි. ඇමැති මණ්ඩලයේ සිටියත් නැතත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ව පුද්ගලයා ඔහුයි.


බැසිල් රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කරයි ද කියලා අපි බලමු. ආණ්ඩුව තුළ පාරදෘශ්‍ය භාවයක් අඩු තරමින් තියෙයි කියලා අපි හිතුවා.  මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුතු කොරෝනා වසංගත කමනාකරණය කර ගැනීමටයි. එහෙත් කනගාටුව කරුණ නම් මේ වන විට 70,000 කට වැඩි ප්‍රමාණයක් එන්නත් නියමිත ක්‍රමවේදයන් තොරව ලබා දී තිබෙන බව හෙළි වී තිබීමයි. එනත් කරණය දී දේශපාලන මැදිහත් වීම  පිළිබඳව කුරුණෑගල, මොරටුව, පිළියන්දල සිදුවීම මගින් පැහැදිලි වෙනවා.

කොළඹ සිට ගිහින් ගාල්ලෙන් එන්නත් ලබා ගන්නා යන කණ්ඩායම් වාර්තා වුණා. සංචරණ සීමා තිබිය දී වාහන ලක්ෂයක් අධීවේගී මාර්ගයේ ගමන් කර තිබෙනවා. සල්ලි අච්චු ගසා රටේ ආර්ථිකය ගොඩ ගත හැකි ද කියන ප්‍රශ්නය අහන්න තිබෙනවා. හැම තැනම දූෂණය වංචාව රජ කරන තත්වයක් පේන්න තිබෙනවා. සීනි, එනත් පොල්තෙල්, පී.සී.ආර්. සම්බන්ධව වංචා දූෂණ මතු වුණා. රටේ වංචා දූෂණ පිළිබද කතා වර්ධනය වෙලා. අපි මේ ආණ්ඩුව තුළ ඒක බලාපොරොත්තු වුණේ නැහැ.


දකුණු ආසියාවේ නාවිකයන් කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා නම් නැව ගින් ගත් අවස්ථාවේ වෙරළ තීරයට සිදු වූ විශාල පරිසර හානිය වැනි සිදුවීම් වළක්වා  ගැනීමට සූදානම් විය යුතුයි. නමුත් අද වා විට වෙරළ තීරයට විශාල පරිසර හානියක් සිදුවී තිබෙනවා. කැස්බෑවුන් විශාලම ප්‍රමාණයක් මිය ගිහින් වෙරළ තීරයට ගොඩ ගහනවා. වාරකන් නිසා මේ මරණ සිදුව තිබෙන බව ඇමැතිවරු ප්‍රකාශ කිරිම බුද්ධියට නිගාවක් යැයිද පැවසීය.