sanjeewa-bandara-speaks

රටේම පාසල් සිසුන්ට ඔන්ලයින් ක්‍රමය හරහා ඉගැන්වීම සිදුකිරීමට එක් ගුරුවරයෙකුට හැකි බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සිදුකළ ප්‍රකාශය සමස්ත ගුරුවරයාටම සිදුකළ අපහාසයක් බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය සඳහන් කරයි. එම නිසා සිදුකළ මෙම ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත්, කෝවිඩ්-19 තත්වය තුළ පාසල් වසා දැමීමත් සමග සමස්ත ගුරුවරුන් තම පෞද්ගලික මුදල් වියදම් කරමින් පාසල් සිසුන්ට ඔන්ලයින් තාක්‍ෂණය හරහා ඉගැන්වීම සිදුකරන බවත් එම සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර මහතා පැවසීය. 



පාසල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ගුරු විදුහල්පතිවරුන් විසින් අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද ඒ මහතා පවසා සිටියේය. එහෙත් ආණ්ඩුව ඔවුන්ට සැප වාහන ගෙන්වූ විට අවශ්‍ය වැඩකටයුතු සිදුකළ බවත්, පාසල් සිසුන්ට ඉගැන්වීම කටයුතු සිදුකිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිම නිසා පාසල් ගුරුවරුන් තම පෞද්ගලික මුදල් වියදම් කරමින් තවමත් ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගැන්වීම කටයුතු සිදුකරන බවත් සංජීව බණ්ඩාර මහතා පැවසීය.

එසේ තිබියදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ගුරුවරුන්ට අපහාස වන ආකාරයට ප්‍රකාශ සිදුකරන බවත්, ආණ්ඩුව මෙම ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් නිරෝධායන මධ්‍යස්ථානයක සිට වීඩියෝ තාක්‍ෂණය ඔන්සේ මාධ්‍ය අමතමින් ඒ මහතා සඳහන් කළේය.

(එව්.අයි. තුෂාර)