සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (01) සමත් විය.
කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 91ක් හා දසුන් ශානක ලකුණු 47ක් රැස් කිරීමට සමත් වූහ.
පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 48කට කඩුලු 5ක් දවාගත්තේය. ඩේවිඩ් විලී ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 75ක් ද ජෝ රූට් නොදැවී ලකුණු 68ක් ද ජේසන් රෝයි පන්දු 52 කට පමණක් මුහුණදෙමින් ලකුණු 60ක් ද රැස් කළහ.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ලෙස දැනටමත් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී ඇත. මීට ඉහත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ඔවුන් ජයගත් අතර ලංකාව පිටපිට 5 වන පරාජය අත්විඳ තිබේ.
0 Comments