ක්‍රිඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර තිබියදී දිගින් දිගටම පිහිනුම් තටාක වසා තැබීමට ගෙන තිබෙන තීරණයෙන් පිහිනුම් ක්‍රීඩාව ඇතුළුව දේශීය ජල ක්‍රීඩා කටයුතු මේ වනවිට මුළුමනින්ම ඇණහිට ඇතැයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය පවසයි.  

එහි සභාපති නේතෘෘ නානායක්කාර මහතා පැවසුවේ පිහිනුම් තටාක දිගින් දිගටම වසා තැබීමෙන් දේශීය ජල ක්‍රීඩා ඉසව් වලට එල්ල වී තිබෙන බලපෑම පිළිබඳ තමන් දිගින් දිගටම සෞඛ්‍ය බලධාරින් දැනුවත් කළ ද ඔවුන්ගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළවී නොමැති බවයි.


"රටේ අනෙකුත් ක්‍රීඩා ඉසව් පවත්වාගෙන යාමට මේ වනවිට සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් අවසර ලැබී තිබෙනවා. කායවර්ධන මධ්‍යස්ථාන පවා මේ වනවිට විවෘත කර පවත්වාගෙන යනවා. පිහිනුම් තටාක වලින් කොවිඩ් පැතිර යන බවට කිසිදු විද්‍යාත්මක සනාථ කිරීමක් ගැනත් අපට දැනගන්නට ලැබිලා නෑ. ඒ නිසා  මේ තත්වය දැන් අපට බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙන්නේ." යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.  ඉදිරියේදී ජාත්‍යන්තර තරග  සහභාගීත්වය පිළිබඳව ශ්‍රී ලංකාව උනන්දු වී සිටින බැවින් ජාතික පිහිනුම් සංචිත ආරම්භ කිරීමටත්  මෙය විශාල ගැටලුවක් වී ඇතැයි ද පිහිනුම් සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර ජාතික පිහිනුම් සංචිත ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකය මාර්ගෝපදේශ සැලැස්මක් ලබාදීමට මේ වනවිට සුදානමින් සිටින බවද වාර්තාවේ. වාර්තාවන පරිදි ක්‍රීඩා අමාත්‍යාංශ  වෛද්‍ය ඒකකය පිහිනුම් තටාක විවෘත කරමින් රටේ පිහිනුම් ක්‍රීඩාව පවත්වා ගෙනයාම සඳහා මීට පෙර ලබාදුන් මාර්ගෝපදේශ සැලැස්මක් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අවධානයට  යොමුවූ බවද වාර්තාවේ.




සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම පිහිනුම් තාටාක විවෘත කිරිමට මැළිකමක් දක්වන්නේ කොවිඩ් වසංගතය හමුවේ ඒකරාශිවීම් පාලනය කිරීම සඳහා බව ද වාර්තා වේ. කෙසේ වුවත් පිහිනුම් තටාක 25% ක සහභාගී ධාරිතාවක් යටතේ විවෘත කිරීමට ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකය කොවිඩ් වසංගතය උද්ගතවූ මුල් අවස්ථාවේ පටන් විරුද්ධවී නොමැති බව  ද වාර්තාවේ.  පිහිනුම් පුහුණුකරුවන් විශාල පිරිසකගේ වෘත්තිය පවත්වා ගෙන යාමටද මෙම තත්වය මේ වනවිට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ද නේන්තය නානායක්කාර මහතා පවසයි.


ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකය පිහිනුම් තටාක සම්බන්ධයෙන් සකස් කර තිබෙන මාර්ගෝපදේශයට අනුව එය පරිහරණය කරන්නන් තටාකයේ මංතීරුවලදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති ද දක්වා තිබේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ ක්‍රීඩා  වෛද්‍ය ඒකකය ලබාදුන් මාර්ගෝපදේශ සැලැස්මට අනුව රටේ පිහිනුම් ක්‍රීඩා කටයුතු පවත්වා ගෙන යාමේ වරදක්  නොමැති බවය. එබැවින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාග ප්‍රධානීන්ගෙන් අනුමැතිය ලබා ගන්නා ලෙස ඇමැතිවරයා එහිදී උපදෙස් ලබා දුන් බවද වැඩිදුරටත් වාර්තාවේ.

 -නාමල් පතිරගේ-