වත්තල සාන්ත ආනා පාරේ ව්‍යාපාරිකයකුට අයත් තෙමහල් නිවෙසකට ඉකුත් දින හා මහ රෑ කළු වෙස් මුහුණක් සහ අත් වැසුම් පැලඳගෙන උල් පිහියක් ද ගෙන කොල්ලකෑමට පැමිණි පුද්ගලයකු ගේහිමියාගේ  22 හැවිරිදි පුතාගේ ක්‍රිකට් බැට් පහර කා රාගම ශිෂණ රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්  ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් පමණ වන පුද්ගලයෙකි.   සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන වත්තල පොලිසිය පවසන්නේ,  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 119 ඇමතුමක්  ඔස්සේ සාන්ත ආනා පාරේ නිවෙසක් කොල්ලකෑමට පැමිණි අයකු අල්ලාගෙන  ඇති බවට ලද තොරතුරක් මත එම නිවෙසට ගිය අවස්ථාවේ තෙමහල් නිවෙසක් වූ එම නිවෙසේ දෙවැනි තට්ටුවේ බැල්කනියේ නහයෙන් ලේ ගලා යමින් සිටි පුද්ගලයකු වැටී සිටී අයුරු දක්නට ලැබුණු බවය.




කළු වෙස් මුහුණක් මෙන්ම අත් වැසුම් ද සහිතව නහයෙන් ලේ දමමින් වැටී සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත්, රෝහලේදී සැකකරු මියගොස් ඇති බවත් වත්තල පොලිසිය වැඩිදුරටත් කීය.  සිද්ධිය වූ ස්ථානයේ තිබී උල් පිහියක් ද ඉස්කුරුප්පු නියනක් ද ලේසර් විදුලි පන්දමක් ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරු ළග තිබී ජාතික හැඳුනුම්පතක් ද පොලිසියට හමු වී ඇති අතර, එය මියගොස් ඇති පුද්ගලයාගේ දැයි මේ අවස්ථාවේ නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද පොලිසිය කියයි.


 මවගේ කාමරයේ නිදාගෙන සිටි තමාව තම සොහොයුරා විසින් දොරට තට්ටු  කොට අවදි කරවා යම් කිසිවකුට බැල්කනියේ ජනේලය කඩා ගෙට ඇතුළු වීමට උත්සාහ කරන බව පවසා සිටීමෙන් අනතුරුව, එම ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු උල් පිහියක් ගෙන තමන් ඉදිරියට පැන්න නිසා තමා ආත්මාරක්ෂාව තකා ඒ අසල තිබු ක්‍රිකට් පිත්තෙන් සැකකරුට පහරදුන් බව සිද්ධියට සම්බන්ධ පුතා කටඋත්තරයක් ලබා දී ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයාගේ මෘත ශරිරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මෘත ශරීරාගාරයේ තබා ඇත.

(තිස්ස කොටින්කඩුව)