No one who took both vaccines has died so far - Director of Health Promotion

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක කාලයක් සම්පූර්ණ කළ මෙරට කිසිදු පුද්ගලයකු කොවිඩ් ආසාදිතව මියගොස් නැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ  පැවසීය. 



මෙරට වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ වුවද කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙක සම්පූර්ණ කළ වැඩිහිටියන් අතුරින් මෙතෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට වාර්තා නැති බවද හෙතෙම සඳහන් කළේය.

එම නිසා වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

මේ වන විට කොළඹ නගරයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

පසුගිය දිනවල මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සම්බන්ධව සහ අනෙකුත් කොවිඩ් ආසාදිතයන් ගැන අධීක්ෂණ කටයුතු හොඳින් පවත්වාගෙන යන බවත් ඩෙල්ටා ප්‍රභේදය අසාදිත බවට සැක පළකරන පුද්ගලයන් කිහිප දෙනකු සම්බන්ධව ආවේක්ෂණ කටයුතු සිදු කරන බවත් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවත්තුඩාවේ වැඩිදුරටත් පැවසීය.

වරුණි පෙරමුණ