wedding couple

ගෙවුණු වසර දෙකහමාරක කාලය තුළ විවාහ මංගල උත්සව ලක්‍ෂ අටක් පමණ අවලංගුවීමෙන් හෝ කල් දැමීමෙන් විවාහ මංගල සේවා සැපයුම් කරන අංශ ගණනාවක කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඇතුව ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහළොවක් පමණ වූ පිරිසකට යනඑනමං නැතිව සිටි බව විවාහ මංගල උත්සව සේවා සපයන්නන්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සභාපති උපුල් ජයසේකර මහතා පැවසීය.   කුරුවිටදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,  විවාහ උත්සව තහනම ඉවත් කරපු නිසා අවලංගු කරපු හෝ කල් දැමූ විවාහ යළි පැවැත්වීම හේතුවෙන් 2028/2029 අවුරුදුවල  පළමුවැනි ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීම 150%ක් ඉහළ ගොස් ලොකු අර්බුදයක් ඇතිවීම වළක්වාලිය නොහැකි වනු ඇතැයි කීය.



එබැවින් නිරෝධායන සොඛ්‍ය නීතිවලට අනුකූල වෙමින් 100-150ත් අතර පිරිසකගේ අවම සහභාගිත්වයෙන් හෝ උත්සව ශාලා ධාරිතාවෙන් 25%ක පිරිසකගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සව පැවැත්වීමට යළි අවසර දීමෙන් එම ක්ෂේත්‍රයේ පහළොස් ලක්‍ෂයට යළි ජීවිත ගොඩනගා  ගැනීමට මුලපිරිය හැකි බව කීය.   විවාහ මංගල උත්සව වැඩිපුරම පැවැත්වෙන්නේ වසරේ මැයි මාසයේ බවත් පාස්කු ප්‍රහාරය සිදු වූ 2019 ඉදලා 2021 වනවිට මැයි මාස තුනක විවාහ මංගල උත්සවවලට සීමා පැනවුණ තත්වය යටතේ අවාසි ඇතිව තිබෙන බව කීය.

කෝවිඩ් වසංගත තත්වය නිසා මංගල උත්සව තහනම් වු නිසා රට පුරාම විවාහපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ ප්‍රසිද්ධ විවාහ මංගල උත්සව ලක්‍ෂ අටක් පමණ අවලංගු කරලා තිබෙයි. ඉන් ලක්‍ෂ දෙකක් උත්සව නැතුව විවාහ සිදු කරගන්නට ඇතැයි කීසභාපතිවරයා‘ නමුත් ලක්‍ෂ හයක් පමණ වූ විවාහපේක්ෂිත තරුණ යුවළ තවම විවාහ වෙලා නැහැ. ඒ අය විවාහ වුණා නම්, ලබන දරුවන් 2026, 2027 අවුරුදුවල පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුතුයි. මේ තත්වය මත 2026, 2027 යන අවුරුදුවල  පාසල්වල පළමු ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කරන ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් විය හැකියි.


ඒ නිසා මේ ක්‍ෂේත්‍රය ගැන අවධානය යොමුකරලා සාධාරණ කොන්දේසි සහ  නිරෝධායන නීති පනවා විවාහ මංගල උත්සව  පවත්වන්න අවසර දීපු එක ගැන රට පුරාම සිටින විවාහ මංගල සේවා සපයන සියලු පාර්ශ්ව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා" යැයිද පවසා සිටියේය.  රූපලාවන්‍ය ශිල්පීන් හා ඇතුළු පිරිසද මෙහිදී අදහස් දැක්වූහ.

 -අජිත්ලාල් ශාන්ත උදය-