බස්නාහිර පළාතේ තිබෙන බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු සියලුම බන්ධනාගාර හොරණ මිල්ලනිය ප්‍රදේශය වෙත ගෙන යෑමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා පැවසීය. ඒ අනුව අක්කර 200ක භූමියක නව බන්ධනාගාර ඉදිකෙරෙන අතර, දැනට බන්ධනාගාර තුළ සිටින සිරකරුවන් මෙන් දසගුණයකට වැඩි සිරකරුවන් ප්‍රමාණයක් එහි රඳවා තැබිය හැකි බවද අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු නියමයන් කිහිපයක් පිළිබද ඊයේ(06දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.මේ අතර මන්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා,
"අපි දන්නවා 1981 අංක 08 දරණ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ 05 වැනි වගන්තියට අනුව සෑම මහේස්ත්රාත්වරයෙකුම තමා පත්කර සිටින අධිකරණ කොට්ඨාසය තුළ පිහිටා ඇති බන්ධනාගාර වෙත අවම වශයෙන් මාසයකට වරක්වත් ගමන් කළ යුතුයි. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ සිර මැදිරියට පමණක් ඒක සීමා කරන්නේ නැතිව සැකකරුවන් රඳවාගෙන තිබෙන ස්ථානවලට ගිහින් ඒ ස්ථානවල තත්වය පරීක්ෂා කරලා, එහි යම් යම් අඩුපාඩු තිබෙනවා නම් නික්ෂණ සටහන් කරලා අවශ්‍ය නම් යම්කිසි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සුදුසු පියවර ගැනීමයි.
මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට අනුව කිසිදු පුද්ගලයෙකු අමානුෂික වදහිංසාවලට භාජනය නොකළ යුතුයි. ඒ සමගම 13(5) වගන්තියට අනුව සැකකරුන් සියලු දෙනාම නිදෝෂීත්වයේ පූර්ව නිගමනයට ලක්වෙනවා. අපේ බන්ධනාගාර පද්ධතිය තුළ ඕනෑම අවස්ථාවක සිරකරුවන් සහ සැකකරුවන් කෝවිඩ්ලට පෙර 28,000ක් -30,000ක් පමණ සිටියා. නමුත් අපට තිබෙන ධාරිතාව 10,000ට තමයි සීමා වෙන්නේ.අද වනවිට කෝවිඩ් වාර්තාව යටතේ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී ඔවුන් ඇප මත මුදාහරින්න කියලා තිබෙනවා.
අපි දැනටමත් කටයුතු ආරම්භ කරලා තිබෙනවා කොළඹ තිබෙන මැගසින් බන්ධනාගාරය,
වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු සියලුම බන්ධනාගාර හොරණ මිල්ලනිය ප්‍රදේශය වෙත ගෙන යාමට. එහිදී අපි අක්කර 200ක භූමිභාගයක් තුළ අලුතින්ම මැන්ඩෙලා ජාත්‍යන්තර නිර්දේශවලට අනුකූලව ඉතාමත්ම හොඳ ජාත්‍යන්තර මට්ටමේ සිරකඳවුරු රාශියක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට තිබෙන ධාරිතාව දසගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළෙ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට, විවිධ තරාතිරමේ අපරාධකරුවන්ට හා අපරාධවලට රිමාඩ් භාරයේ ඉන්න පුද්ගලයන් වෙන වෙනම තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මද්‍රව්‍යවලට ඇම්බැහි වූ පහළ මට්ටමේ පුද්ගලයන් සිරගත කරනවා වෙනුවට සහ රිමාන්ඩ් කරනවා වෙනුවට ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපි මේ පනත ඉදිරිපත් කරන්නේ” යනුවෙන්ද සඳහන් කළේය.
(දිනේෂ් සමරකෝන්)
0 Comments