රට පුරා ලාෆ්ස් ගෑස් බෙදාහැරීම නතර කර ඇති හෙයින් මෙම ගෑස් පාවිච්චි කරන පාරිභෝගිකයන් ලක්ෂ 20ක පමණ පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. ලාෆ්ස් ගෑස් බෙදාහැරීම මාස දෙකක පමණ කාලයක් තිස්සේ නතර වී තිබෙන හෙයින් ගෘහස්ථ පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
ගෑස් පාරිභෝගික නිවෙස් බොහොමයක ඇත්තේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩර එකක් පමණක් හෙයින් ගෑස් පාවිච්චි කළ පිරිසට එම ගෑස් නොමැති වීම නිසා ගෑස් ලබාගැනීමට ක්‍රමයක් නොමැති වීම බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. ලාෆ්ස් ගෑස් කහ පාට සිලින්ඩරයට ලිට්රෝ සිලින්ඩර ලබා නොදෙන නිසා ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් අසීරුතාවයට පත්ව සිටින අතර ලිට්රෝ ගෑස් ලබාගැනීමට අලුතෙන් හිස් සිලින්ඩර අලෙවි කිරීම ද එම සමාගම නතර කර ඇති හෙයින් ලාෆ්ස් පාරිභෝගිකයින්ට ලිට්රෝ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ අවස්ථාව ද ඇහිරී ගොස් තිබේ.
කොළඹ සහ රට පුරා නගරවල ගෑස් පාරිභෝගිකයින් විශාල පිරිසක් මේ වනවිට ගෑස් නොමැතිකමින් විශාල අපහසුතාවකට පත්ව ඇතැයි ද වාර්තා වේ. ගෑස් වෙළෙඳපොළේ සියයට 25ක පමණ කොටසක් ලාෆ්ස් ගෑස් සඳහා හිමි වී ඇති අතර එම සමාගමට ලක්ෂ 20ක පමණ පාරිභෝගික සංඛ්‍යාවක් සිටිති.
මේ අතර රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ පමාවක්ද පවතින හෙයින් ඇතැම් වෙළෙඳසල්වල ලිට්රෝ ගෑස්වල ද හිඟයක් හටගෙන තිබේ. මේ පිළිබඳව කළ විමසුමකදී ලාස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ මාස දෙක තුනක පමණ කාලයක සිට ලාෆ්ස් ගෑස් බෙදාහැරීම සීමා වී තිබෙන බවය. ලාෆ්ස් ගෑස් බෙදාහැරිමේ නියෝජිතයින් 15,000කට සමාගමේ සේවකයින් පිරිසකටත් ආදායම් මාර්ග අහිමි වී තිබෙන බව ද වෑගපිටිය මහතා කීය. ගෑස් මිල ඉහළ නැංවීම සඳහා ලාෆ්ස් සමාගම අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළ අතර ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර තිබිණි.
(මුදිතා දයානන්ද)
පෙර වාර්තා
ලාෆ්ස් ගෑස් හිඟවුණේ ඩොලර් හිඟ නිසාලු (ජුලි 30)
අර්බුදය උග්‍ර අතට - වෙළෙඳපොළේ ලිට්රෝ ගෑසුත් නැතිව යයි (ජුලි23)
ලාෆ්ස් ගෑස් නවතා දැමීම නිසා පාරිභෝගිකයින් අසීරුවට (ජුලි 23)
0 Comments