30000-deaths-sri-lanka

ඩෙල්ටා ප්‍රබේදය  මේ වනවිට සමාජගතව ඇති බවත්, නිවැරදි තීන්දු තීරණ ගත නොගතහොත් ඉදිරි මාසයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ මරණ 5,000කට අධික සංඛ්‍යාවකුත් එසේම එළැඹෙන දෙසැම්බර් මස වනවිට මරණ 30,000ක පමණ සංඛ්‍යාවකුත් වාර්තා විය හැකි බවත් මෙරට විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කර සිටිති.  ඒ අනුව එන්නත්කරණයේ උපරීම ප්‍රතිඵල ලබාගැනීමට  ප්‍රථම එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම කනගාටුවට කරුණක් වන බවද ඔවුහු සඳහන් කළහ.  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, අන්තර් විද්‍යායතන කමිටුව හා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු මෙරට වෛද්‍ය විශේෂඥයන් එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (16දා) කැඳවනු ලැබූ අතර, එහිදී අදාළ සංගම් නියෝජිතයෝ එක්ව මේ බව අවධාරණය  කර සිටියහ.




 එහිදී ඔවුන් පෙන්වා දුන්නේ, රට තුළ ව්‍යාප්තව ඇති වෛරසයේ බරපතළකම පාලනාධිකාරියට තේරුම් කිරීම සඳහා ගතවූ කාලය තුළ වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත් බවත්,  එසේම රට තුළ මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය වෛද්‍ය ප්‍රජාව ලෙස තමන්ට දරාගත නොහැකි බවත්ය. කෙසේ වුවද මෙම අවස්ථාවේදී රජය ගන්නා ක්‍රියාමාර්ග කුමක් වුවද මහජනතාව ලෙස සියලු දෙනා ආරක්ෂා කරගැනීමේ   වැඩපිළිවෙළකට අවතීර්ණ  විය යුතු බවට තීරණය  කරමින් තමන් මෙම මාධ්‍ය  හමුව කැඳවූ බවද විශේෂඥ වෛද්‍යවරු එහිදී ප්‍රකාශ කර සිටියහ. ඒ අනුව ජනතාව බුද්ධිමත්ව, 100%ක්  සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බවද අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරු, ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිවෙස්වලට වී තමන් ආරක්‍ෂා වීමට ජනතාව උපමයෙන් පියවර ගත යුතු බවද ප්‍රකාශ කළහ.


‍ ඔවුන් වැඩිදුරටත්  පෙන්වා දුන්නේ, එන්නත්කරණයෙන්ද කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බවයි.  ඒ අනුව රට වසා දැමීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන් විසින් නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවට අදහස් කෙරෙන දේශපාලන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු මෙහිදී වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියහ. ඒ අනුව ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය,


"ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අනුබද්ධ කෝවිඩ් විශේෂඥ කමිටුවක් තිබෙනවා. ඒ කම්ටුව සති දෙකකට වරක් තීරණ ගන්නවා. ඒ කමිටුවට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය සම්බන්ධ නැති ස්වාධීන විශේෂඥවරුන් සිටින්නේ. ඒ අනුව අදාළ තීරණ පිළිබඳ අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරනවා. අපි අවසාන ලියමන 11වැනිදා ඒ අයට ලබා දුන්නේ. එහි අපි ආමන්ත්‍රණය කර තිබෙනවා ජනාධිපතිතුමාට.


වෛද්‍ය ප්‍රජාව පුරුදු කරලා තියෙන්නෙ එක් ජීවිතයක් වුණත් බේරාගැනීමට. ප්‍රජාවක් විදිහට අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම සංවේදී. අපට  මේ තත්ත්වය දරාගැනීමට අපහසුයි. අපි කියන්නේ පුළුවන් තරම් උපරිමයෙන්ම රෝගය බෝ වීම වැළැක්වීමට උපරීම පියවර ගන්න ඕනෑ කියලයි.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  දත්තවලට අනුව පසුගිය  සතියේ 24,000ක් රෝගීන් වාර්තා වෙලා තියෙන අතර, මරණ 918ක් සිදුව තිබෙනවා. මීට වඩා සමාජය මේ වගේ තුන් ගුණයක් පමණ රෝගීන් සිටිනවා.


පසුගිය සතියට කලින් සතිය හා සසඳන විට රෝගීන් 34%ක වැඩි වීමක් ලෙසත් මරණ 60%ක වැඩිවීමක් ලෙසත් දැක්වෙනවා. ලබන සතිය කුමක් වේවිද කියලා අපි අනුමාන කළ යුතුයි.

රෝගය සමාජගතවී තිබෙන නිසා ඒක අපට පැහැදිලිව  කියන්න පුළුවන්.  රෝහල් පිරි ඇති නිසා රෝගී වුණාත් පහසුකම් සොයා ගන්න බැහැ. කාර්යමණ්ඩලය අඩුයි. රෝග ව්‍යාප්ත වීමත් සමග හැකි පමණ ගෙදරට වී සිටින්න. එළිමහනේ ඇවිදීම, ව්‍යායාම කිරීම  යෝග්‍යයි. හැබැයි ඒකරාශී වීමකින් තොරව. ජනතාව බුද්ධිමත්ව හැසිරිය යුතු අවස්ථාවක් මේක. සෞඛ්‍ය මාගෝපදේශවලට 100%ක් අනුගත වීම අනිවාර්යයි” යැයි පවසා සිටියාය.


මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ, උද්ගතව ඇති කෝවිඩ් රැල්ල නැවැත්වීම සඳහා එන්නත්කරණයට හැකියාවක් නොමැති බවයි.  ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ  වෛද්‍යවරයා,


"වේගවත් එන්නත් ක්‍රියාවලියකින් ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපට මේ වගේ එන්නත් ක්‍රියාවලියකින් ලබාගන්න තිබූ උපරීම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා. අද, හෙට අනිද්දා, ලබන සුමාන්නේ තියෙන රැල්ල නවත්වන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැලි නවත්වන්න. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනෙකුට වෙරසය තියෙනවා. තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවයි” යනුවෙන්ද පවසා සිටියේය. මීට අමතරව ප්‍රජා  වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අතර, එහිදී හෙතෙම සඳහන් කර සිටියේ,


"ඉදිරි මාසය තුළ මරණ 5,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවිය හැකියි. අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ මරණ 30,000ක් පමණ  දෙසැම්බර් වනවිට සිදුවිය හැකි බවට මේ වනවිට දෙස් විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා. නිවැරදි තීන්දු තීරණ ගත නොගතහොත් මෙම තත්වය උදාවිය හැකියි.  ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රකාශයක් සඳහන් කරන්න කැමතියි. ඇය ප්‍රකාශ කර තිබෙනවා මෙය ජීවිතයත් මරණයත් අතර ඇති තත්වයක් බව. ඒ නිසා අපි විසින්ම තීරණ අරගෙන අපි රැකෙමු” යනුවෙනි.


 නිදර්ශනී වික්‍රමසිංහ