4 arrested for searching for gold

භූමිය පරීක්ෂාකරන ස්කැනර් යන්ත්‍රයක් භාවිත කරමින් එල්. ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමා ඇති රත්රන් සොයමින් සිටි සිවිදෙනකු කිලිනොච්චිය ධර්මපුරම්, අලගාපූර් ප්‍රදේශයේදී 18 දා අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. 

නිදන් සොයන පිරිසක් සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ධර්මපුරම් පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය. සැකකරුවන් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් රත්තරං සඟවා ඇති බවට සැකකෙරන ස්ථානයක් කැණීම් කිරිම සඳහා ස්කැනර් යන්ත්‍රයක් මගින් පරීක්ෂා කරමින් සිටි බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබී විවිධ ස්ථානවල ඡායාරූප සහිත ටැබ් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවටගත් බවයි.

සොයාගත් ස්කැනර් යන්ත්‍රය භූමිය අභ්‍යන්තරයේ පවතින ලෝහ ද්‍රව්‍ය පරික්ෂා කිරිම සඳහා යොදාගන්නා කැනර් යන්ත්‍රයක් බවත් පැවසීය. අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් වවුනියාව, කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 35 ත් අතර වයසේ පසුවන්නෝ වෙති. සැකකරුවන් හා ස්කැනර් යන්ත්‍රය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(මඩුකන්ද සිතුම් චතුරංග)