50 infected employees of Japura Hospital in two separate floors - twice as many patients as Kalubowila beds
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ 50 දෙනෙක් පමණ කොවිඩ් 19 වෛරසය  ආසාදිතයන් බවට පත්වී ඇතැයි වාර්තාවේ. රෝහල තුළ ඉදිකළ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලේ මහල් දෙකක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආසාදිතයන්ට  ප්‍රතිකාර සඳහා මේ වන විටත් වෙන්කර ඇති බවද දැනගන්නට ලැබේ. එම ස්ථානයේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවිකාවන් 12ක් ද සෞඛ්‍ය සේවකයන් 23ක් මේ වන විට ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.


ඊට අමතරව තවත් 20ක් පමණ සිය නිවෙස් තුළම ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වෙයි.
මේ අය සියලු දෙනාම කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් අයයි.
මේ අතර අද උදෑසන සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ඡායාරූපයකින් ජයවර්ධනපුර රෝහලේ කොරිඩෝර තුළ රෙදි අතුරාගෙන රෝගීන් නිදාසිටින අයුරු දර්ශනය විය.


දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට, වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාවට වඩා දෙගුණය ඉක්මවා ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද පෙරවරුවේ ගුවන්විදුලි නාලිකාවකට පවසා තිබේ. සංඛ්‍යාව ඉක්මවා යාම මගින් රෝගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරීම සඳහා සැළසුම් කරන බවද ඔහු කියා තිබුණි.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් 93 දෙනෙක් මේ වනවිට කොවිඩ් ආසාදිතවීම නිසා රෝහල් කටයුතු අසීරු තත්වයට පත්ව ඇති බවද උදෑසන වාර්තා විය. කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්ද මේ වනවිට ප්‍රකාශ කර තිබේ. රෝහලේ රෝගීන්ට සිටීමට හැකි  ධාරිතාව ඉක්ම යෑම නිසා දැඩි රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ඔවුනගේ කැමැත්ත මත නිවෙස්වලට යවා ඇත.