කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවෙසක ඇති වූ ගින්නකින් අඹු - සැමි යුවළක් මියයෑම
සම්බන්ධයෙන් කරන ලද මූලික පරීක්ෂණයේදී පෙනී ගොස් ඇත්තේ මියගිය පුද්ගලයා විසින් ඔහුගේ බිරියට ගිනි තබා පසුව ඔහුද ගිනි තබාගෙන මියගොස් ඇති බවට සැක කරන බවය. පොලිසිය මෙසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ පිලිස්සී මියගිය කාන්තාවගේ දෑත් දම්වැලකින් බැඳ දමා තිබූ හෙයිනි.
මියගිය කාන්තාවට සිහිමූර්ඡා වීමට කිසියම් ද්‍රව්‍යයක් ලබාදීමෙන් අනතුරුව මෙසේ ඇයට ගිනි තබන්නට
ඇතැයිද පොලිසිය සැක පහළ කරයි.
මෙසේ මරණයට පත්ව තිබුණේ පනස්හත් හැවිරිදි අජිත් රේමන් හා පනස්තුන් හැවරිදි සුමිත්‍රා රාජපක්ෂ
නමැති අඹු - සැමි යුවළකි.
මියගිය කාන්තාව පනස්තුන් වියේ පසුවුවත් ඇය රූමත් කාන්තාවක් වූ හෙයින් ඇයව නිවෙසින් බැහැරට ගෙන
යෑමට කිසිවිටක සැමියා කටයුතු නොකළ බවත් ඒ නිසා මොනයම් අවස්ථාවකවත් ඇය නිවෙසින් පිටට නොයන
බවත් ප්‍රදේශවාසීහු පොලිසියට පවසා තිබිණි. එමෙන්ම සැමියා නිවෙසින් පිටව යන අවවස්ථාවලදී බිරියව
මෙලෙස දම්වැලකින් බැඳ දමා යෑම සිදුකරන්නට ඇති බවද පොලිසියේ සැකය වී තිබේ.
මෙම අඹු - සැමි යුවළ නිවෙසේ උඩුමහලේ රැඳී සිටින අතර පහත මාලයේ ඔවුන්ගේ පුතා හා ලේලිය
රැඳී සිටිති.
ඉකුත් 27 වැනිදා අලුයම හතරයිතිහට පමණ එම නිවෙසේ උඩුමහල දෙසින් ‘මාව බේරගන්න’ කියමින්
කෑගසන ශබ්දයක් ඇසී ඇති බවත් ඒ අවට පදිංචිකරුවන් එක්වී නිවෙසට යන විටත් නිවෙස දෙසින් ගිනි ජාලයක්
මතු වී ඇති බවත් පසුව පිරිස එකතු වී ගින්න නිවා දමා ඇති බවත් පොලිසිය කියයි.
ඒ වනවිටත් උඩුමහලේ සිටි අඹු - සැමි යුවළ ගින්නට හසු වී මියගොස් තිබුණු බව කියති. පසුව මේ බව
කඩවත පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද
සිල්වා ඇතුළු කණ්ඩායමක් පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු මහර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න
මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත. කැලණිය කොට්ඨාස අපරාධ
පරීක්ෂණ නිලධාරීන්ද සිය විමර්ශන ආරම්භ කර තිබිණි.
පොලිසිය කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මියගිය අජිත් රේමන් නමැත්තා සිය හිතවතකුගේ
ත්‍රිරෝදයක් පැදවීම සිදුකර ඇති බවත් කිසියම් අවශ්‍යතාවකට අජිත් රේමන් නමැත්තා ත්‍රිරෝද රථයේ
හිමිකරුගෙන් රුපියල් පනස්දාහක් ඉල්ලා ඇති බවත්ය. එහිදී ත්‍රිරෝද රථ හිමිකරු මුදල් නැති බව ප්‍රකාශ
කිරීමෙන් පසු අජිත් රේමන් නමැත්තා එම ත්‍රිරෝද රිය පිට අයකුට විකුණා ඉන් ලබාගත් රුපියල් ලක්ෂ 8ක්
ඔහුගේ දියණියකට ලබාදී ඇති බවය.
මියගිය පුද්ගලයා ණය බරින් පෙළෙන්නකු බවටද පොලිසිය සැක කරයි.
අඹු - සැමි යුවළ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29දා) සිදුකිරීමට නියමිතව තිබිණි.
කැලණිය කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතාගේ උපදෙස් මත කඩවත පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා ප්රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර
පරීක්ෂණ පවත්වති.
(කීර්ති මෙන්ඩිස්, කැලණිය _ කුසුම් එස්. හැන්නදි)
0 Comments