A funeral musical at the artist's last will and testament

කලාකරුවකුගේ අවමංගල්‍ය උත්සවයකදී  හේවිසි වාදනය කිරීමකින් තොරව පැදුරු සාජ්ජයක් පවත්වනු ලැබූ අවස්ථාවක් බූස්ස, පරණවත්ත, උඩුමුල්ල ගම්මානයේදී දැකගත හැකි විය.  වසර 50ක පමණ කාලයක් නාට්‍යකරුවකු, රංගන ශිල්පියකු, ගායකයකු, රූපවාහිනී සහ ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කර මෙලොවින් සමුගත් බුස්ස, පරණවත්ත, උඩුමුල්ල පදිංචිව සිටි හැරල්ඩ් කේ. ජයතිස්ස (69) මහතාගේ 

අවමංගල්‍ය උත්සවයේදී මෙම සංගීත ප්‍රසංගය පැවැත්විණි. ජයතිස්ස මහතා ජීවත්ව සිටිය දී කර තිබූ ඉල්ලීමකට අනුව මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට රත්ගම රුහුණු තරු සංගීත කණ්ඩායමේ නායක ඩයමන් තල්පහේවා මහතා ප්‍රමුඛ ශිල්පීහු කටයුතු කළහ.

බුස්ස ශ්‍රී සුදර්ශනාරාම පූජාභූමි විහාරාධිපති රත්ගම සුධම්ම හිමියන් ප්‍රමුඛ ගරුතර මහා  සංඝරත්නය ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සිරුර මිහිදන් කිරීමට රැගෙන යන අවස්ථාව වන තුරු මෙම සංගීත ප්‍රසංගය පැවැත් විණි.  අවසන් ගමන් ගිය හැරල්ඩ් කේ. ජයතිස්ස මහතා මෙම සංගීත කණ්ඩායමේ ගායකයකු  ලෙස කටයුතු කර තිබූ අතර ඔහු වඩාත් ප්‍රිය කළ ගීත කීපයක්ම මෙම සංගීත ප්‍රසංගයේ දී ගායනා කෙරිණි.

  -ගාමිණී මහදුර-