Addressing-the-nation-this-evening-the-President-says-whether-it-is-possible-to-close-the-country-or-not

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා අද (20) සවස විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති අතර එම කතාවේදී ලබන ඉරිදා සිට සීමිත කාලයකට රට වැසීමක් ගැන  කියනු ඇතැයි එක් වාර්තාවකින්ද  එසේ නොවන බවට තවත් වාර්තාවකින්ද කරුණු අනාවරණයවී තිබේ.
මේ නිසා ජනපතිගේ කතාව ඉදිරිපත් කරනතුරු ඒ ගැන පූර්ව අනාවැකි පළ කිරීමට නොහැකිවී ඇත.
කොරෝනා පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ලත් ඊට වඩා තෙවැනි රැල්ල අවස්ථාවේදීත් පිළිවෙලින් රට වැසීමේ තීරණය ජනපතිවරයා ලබාගත්තේ ක්‍රමක්‍රමයෙන් ප්‍රමාදවීමෙන් හෝ අකමැත්තෙනි. ඊට හේතුවූයේ රට එන්න එන්නම ‘බංකොලොත්‘ වෙමින් පවතින බවට ආර්ථික විශේෂඥයින් සිදු කළ අනතුරු ඇඟවීමයි. එසේම යම් යම් සංවර්ධිත ව්‍යාපෘතිවලට මුදල් පාස් කරගැනීම, දේශපාලන නඩු ඈවර කිරීම වැනි නොකියන හේතුද ඒ අතර තිබුණි.
සංවර්ධිත රටවල මෙන් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සේවා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ වැඩ නොකරන දවසක් පාසා සිදුවියහැකි පාඩුව පියවාගැනීම අතිශය දුෂ්කරවීමත් විශාල ණයබරකින් රට පෙළීමත් ජනපතිගේ දැඩි ප්‍රතිපත්තියට එක් හේතුවක් විය.ඔහුගේ වටා සිටින උපදේශකයින්ගේද තර්කය වනුයේ කොරෝනා යුද්ධයට විසඳුම ‘එන්නත්‘ පමණක් බවයි.
නමුත් ශ්‍රී ලංකාවටත් වඩා දිළිඳු රටවල් මෙම ආර්ථික අර්බුදය මැද ජනතාව ආරක්ෂාවීම පළමු කාර්යය ලෙස සලකා නිසි වේලාවට රට වසා ජීවිත බේරාගැනීමට උනන්දුවූ බවට සාධක පවතී.


මෙම දැඩි තීන්දුවලට වඩාත් බලපා ඇත්තේ ජනපති වටා සිටින සෞඛ්‍ය විශේෂඥයින් නොවන පරිපාලන විශේෂඥයින්ගේ උපදේශන බවටද විවේචනයක් පවතී.
මේ නිසාම සෞඛ්‍ය විශේෂඥයින් දිගින් දිගටම කියන ‘කොරෝනා මර්දනයේ එකම විසඳුම එන්නත් පමණක් නොවන බවට‘ අදහස ජනපතිවරයාට සන්නිවේදනයවී නැති සෙයක් දිස්වේ. ඩෙල්ටා ප්‍රබේදය වැනි ‘හෙම්බිරිසාව ආකාරයට‘ බෝවන රෝගය පාලනයට පැතිරීම පාලනය මිස වෙන යමක් කළ නොහැකිය යන කාරණාව තවම ඒත්තු ගොස් ඇති සෙයක් දිස් නොවන අතර රට විවෘත කර පවත්නා දිනයක් පාසා එම පැතිරීම දෙතුන් ගුණයකින් වේගවත්වී ඇත.
මේ ආකාරයේ පරිපාලන තීන්දු නිසා දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිට බ්‍රසීලයේ කොරෝනාවද නිකරුනේ ඔඩු දුවමින් පවතී.
වෛද්‍ය විශේෂඥයින් රැසක් මේ ගැන කරුණු පැහැදිලි කරමින් දිගින් දිගටම ලිපි ලියන ලදි.
ජනපතිවරයාට රට වැසීම සම්බන්ධ තීන්දුවට තල්ලුවක් දෙමින් ආණ්ඩුවට සම්බන්ධ විමල් ගම්මංපිල වාසු ඇතුළු අයගේ හවුල්කාර පක්ෂ 10 ක්ද ඊයේ ලිඛිත ඉල්ලීමක් සිදු කළ අතර ශ්‍රීලනිපයද වෙනම ඉල්ලීමක් කර තිබුණි.
ජනපතිවරයා රට වසන්නට උනන්දු නොවන බව පෙනී ගියෙන් මේ වනවිට රටපුරා නගර 100 කට ආසන්න ගණනක් ස්වයං හුදෙකලාභාවයට පැමිණ තිබේ. ලබන සඳුදා සිට මහා වැඩ වර්ජනයකටද වෘත්තීය සමිති සූදානම් වෙමින් සිටී.
කෙසේ වෙතත් ඊයේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ කොරෝනා වසංගතය පාලනයට සතියක කාලයක් හෝ රට වසා තැබීමට කටයුතු කරන ලෙසයි.  එම ලිපිය නිසා ජනපතිට යමක් කළ යුතු තැනට තල්ලු විය.

ඊට හේතුවන්නේ මහනායක ඉල්ලීමක් ඉවත දැමුවොත් එය දේශපාලන වශයෙන් අප්‍රසාදයට හේතුවිය හැකිය යන ලංකාවේ සාම්ප්‍රදායික මතයයි.
ඊයේ රාත්‍රිය වන තෙක් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවට වාර්තාවන අතර
අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඊට සහභාගී වී තිබේ.
ඊයේ සාකච්ඡාවේදී මුලදී යොජනාවී ඇත්තේ මල්වතු අස්ගිරි හිමිවරුන්ට රටේ ආර්ථික ප්‍රශ්නය ගැන කරුණු පැහැදිලි කරදී රට වසන්නට බැරි බව කියන බවයි. අනතුරුව ජාතිය අමතා ජනතාවටද කරුණු පැහැදිලි කරන බව පවසා තිබුණි.
නමුත් රාත්‍රී පැවති සාකච්ඡාව අවසන්වනවිට මෙම තීරණයෙහි වෙනසක් සිදුව ඇතැයිද දැනගන්නට ඇත. ඒ අනුව ටික දිනකට හෝ රට වැසිය යුතුය යන තීන්දුවට නම්‍යශීලීවී ඇත.
කෙසේ වෙතත් අද උදෑසන තවත් සාකච්ඡා පැවැත්වෙන බවත් අවසාන තීන්දුව වනතෙක් ජනපතිවරයා රට වසයිද නැද්ද යන්න කිව නොහැකි බවත් දේශපාලන අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.