ගෑස්, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රට තුළ පවතින ගැටලු එළැඹෙන සතියේදී අවසන් වන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.



හෙතෙම සඳහන් කර සිටියේ, වරාය ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලු බහාලුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බවට මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළ බවයි.පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් යොමුකරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.දැනට රට තුළ පවතින කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බවද මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ සඳහා රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි පරිසර ආමත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය.එහිදී අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ,

"ආහාර හිඟයක් රට තුළ ඇති වන්නට කිසිසේත්ම රජය ඉඩ තබන්නේ නැහැ. ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් ඉහළ යාම  නිසා ඇතැම්වෙළෙන්දන් තමන් සතුව පවතින තොග වෙළෙඳෙ පොළට නිකුත් කිරීම සීමාකර තිබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම් නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කළෙනොහැකියි. සීනි, ගැස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පවතිනවා. එසේ වුවත් අපී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙම ගැටලු සම්බන්ධව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා සමග සාකච්ඡා කළා.

 එහිදී ඒ මහතා අපට ප්‍රකාශ කළා. දැනට අපේ වරායේ ආහාර තොග සහිත බහාලුම් විශාල ප්‍රමාණයක් ගබඩා තුළ තිබෙන බැවින් ඒවායේ අඩංගු ආහාර ද්‍රව්‍ය තොග වහාම වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව. එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ සීනි හා කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. රජය කිරිපිටි නිසා ලද විශාල ආදායම අහිමි කරගනිමින් එම සහනය මහජනතාවට ලබාදීමට පියවර ගත්තා.

ඒ අනුව කිරිපිටි මත පනවා තිබූ විශාල බදු අඩු කරනු ලැබුවා. නමුත් එම කිරිපිටි ගෙන්වන සමාගම් තවමත් ඔවුන්ට පාඩු සිදුවෙන බව පවසනවා. කෙසේ නමුත් බැසිල් රාප්පක්‍ෂ මුදල්  අමාත්‍යවරයා අපි සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය භාණ්ඩාගාරය මගින් ලබාදීමට පියවර ගන්නා බව. එමනිසා බොහෝ විට ලබන සතිය. වනවිට ඇතැම් ආහාර ද්‍රව්‍යවල මෙන්ම ගෑස් සම්බන්ධ ප්‍රශ්නයද අවසන් වන බව අපට විශ්වාසයි. මේ වනවිට ගෑස් සහිත නැව් අප රටට ළඟා වෙමින් තිබෙන බව  සාකච්ඡාවේදී අවධාරණය වුණා.” යනුවෙනි.

(නිදර්ශනී වික්‍රමසිංහ)