මෙවර එනම් අගෝස්තු මස 23 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් සපුරන ලද යුධ හමුදා ක්‍රීඩකයින් හත් දෙනකු එක් වනු ඇත.
මේ අනුව මෙම පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති යුද්ධ හමුදා ක්‍රීඩකයින් ඔරු පැදීම , දුනු විදීම , රෝද පුටු ටෙනිස් තරගාවලි මෙන් ම ,  කවපෙත්ත විසිකිරීම, යගුලිය විසි කිරීම, ආදී  මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන්  සහභාගී වී සිය දස්කම් දක්වනු ඇත.එමෙන්ම මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික්2020 තරගාවලිය වෙනුවෙන්  සහභාගී වීමට නියමිත යුද්ධ හමුදා ක්‍රීඩකයන්ට අමතරව ඔවුන්ගේ පුහුණුකරුවන් සහ ක්‍රීඩා  පරිපාලන නිලධාරීන් ඇතුළු 17 දෙනෙකු ගෙන්  සමන්විත කණ්ඩායමක් ජපානයේ ටෝකියෝ නුවර බලා ඉදිරි කාල සීමාව තුළ පිටත් වීමට ද නියමිත ය.

මෙම  පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ඉලක්කයට දුනු විදීමේ තරග ඉසව්ව  වෙනුවෙන් තරඟ වදින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් සම්පත් බණ්ඩාර එම තරග ඉසව්ව වෙනුවෙන් පදක්කමක් දිනා ගනු ඇතැයි අපේක්ෂිතය.

හෙතෙම වර්ෂ 2008 ජුනි මස  11  දින, ශ්‍රී ලංකා යුද හමුදාවට ආධුනික සෙබළකු වශයෙන් බැඳී  ඉබ්බාගමුව , පාන් ගොල්ල  සන්නාහ සන්නද්ධ බලකායේ 5  වන විමර්ශන රෙජිමේන්තු පුහුණු පාසලෙන්  ලබාගත් සිව් මසක පුහුණු කාලසීමාවකින් අනතුරුව ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවට ඇතුලත්ව ඉන් අනතුරු ව ක්‍රියාන්විතයේදී  මුලතිව් මුහුදු වෙරළේ වළ දමා තිබූ  ජොනි වර්ගයේ බිම් බෝම්බයකට හසු වීමෙන් පසු දකුණු  පාදයට සිදු වූ සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රණක්‍ෂිතයට පත්ව  තිබිණි .
එම  අනතුරින් , කෝප්‍රල් සම්පත් බණ්ඩාර ගේ  දකුණු පාදය දණහිසට පහළින් කපා ඉවත් කරන ලද අතර , ඉන් අනතුරු ව ටොරින්ටන් ක්‍රීඩා පිටිය ආශ්‍රිතව සිදුකරන ලද  ඉලක්කයට දුනු විදීමේ තරඟාවලින්   වෙනුවෙන් සහභාගි වී තව දුරටත් පුහුණුවීම් කටයුතු වල නිරත වීමට හෙතෙම කටයුතු කර තිබේ.

එමෙන් ම , වර්ෂ 2014 සිට මේ මේ දක්වා පවත්වන ලද ආබාධිත දුනු විදීමේ තරගාවලින් 7කට  සහභාගී වී ඉන් තරග 6ක්  වෙනුවෙන් රන් පදක්කම් දිනා වසරේ දක්ෂතම ආබාධිත දුනු ශිල්පියාට හිමි  සම්මානය  අඛණ්ඩව  පස් වතාවක් ගැනීමට ද ඔහු සමත් වී ඇත . තවද 2016 වසරේ ප්‍රථම වරට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  බ්‍රසීලයේ 'රියෝ ද ජැනයිරෝ 'නුවර පැවති පැරාලිම්පික්  තරගාවලියට සහභාගී වී විවිධ රටවලින් පැමිණි හොඳම දුණු ශිල්පියන් අතුරින් 13 වන ස්ථානය දිනා ගැනීමටද ඔහු සමත් වී ඇත.



එමෙන්ම  මෙවර පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලිය   වෙනුවෙන්  ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබාගත හැකි තවත් ක්‍රීඩකයෙක් වනුයේ ශ්‍රී ලංකා යුද හමුදා ජාතික ආරක්ෂක බලමුළුව නියෝජනය කරන ලාන්ස් කෝප්‍රල් පාලිත බණ්ඩාර ය.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වර්ෂ 2009 ජූනි මස පළ වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට ආධුනික සෙබළකු වශයෙන් බැඳී කොත්මලේ  පිහිටි  11 වන සිංහ රෙජිමේන්තු පුහුණු පාසලින් ලැබූ සිව් මසක පුහුණු පාඨමාලාවකින් අනතුරුව , හය වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙත අනුයුක්ත කර තිබිණි.

එම කාලසීමාව අතරතුර ,ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ වොලිබෝල් කණ්ඩායම වෙත බැඳී පුහුණුවීම් කටයුතු වල නිරතවන අතරතුරදී , එනම් වර්ෂ 2012 නොවැම්බර් මස 12 වන දින නොච්චියාගම  ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරකදී  පැවැති පුහුණුවීම් වාරයක දී සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු පාදයේ දණහිසට සිදු වූ බරපතල තුවාලයක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්‍ විය.

හෙතෙම   ආබාධිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව 2014 වසරේ පැවති පැරාලිම්පික්  තරගාවලිය වෙනුවෙන් යගුලිය විසි කිරීම (Put) සහ කව පෙත්ත විසි කිරීම (Disc) ආදී තරග ඉසව්වන් වෙනුවෙන් අඛණ්ඩව පුහුණුවීම් කටයුතු වල නිරත විය.


මෙයට අමතරව,  2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී යගුලිය විසි කිරීම (F-42) තරග ඉසව්ව ජයගනිමින් ඒ වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ද ලාන්ස් කෝප්‍රල් පාලිත බණ්ඩාර සමත් වී ඇත. එමෙන් ම ඉන් අනතුරුව , එනම් වර්ෂ 2019 පවත්වන ලද ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ එම තරඟ ඉසව්වන්ගෙන්  දස්කම් දක්වන ලද ක්‍රීඩකයන් අතුරින්  8 වන ස්ථානය දිනා ගැනීමට ද හෙතෙම සමත් විය. තව ද 2021 වසරේ  ඩුබායි හි දී පවත්වන ලද  "ඩුබායි ගෝන් ෆ්‍රී"  පැරා තරඟාවලියේ දී යගුලිය විසි කිරීමේ තරඟ ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද ඔහු සමත් විය .

එමෙන්ම  නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි යුද හමුදා විනයාරක්ෂක රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන කෝප්‍රල් දුලාන් කේඒඑස්මෙවර  හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන්   ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් තරඟ වැදීමට නියමිතය.

මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මාතර දෙනියාය ජාතික මහා විද්‍යාලයෙන් අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබ, ඉන් අනතුරු ව එනම් වර්ෂ 2009  දෙසැම්බර් මස 5 වන  දින ආධුනික  සෙබලෙකු වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත බැඳී තිබිණි.

සිය ක්‍රීඩා කෞශල්‍යයන් වඩාත් වර්ධනය කරගැනීමේ අභිප්‍රායෙන් මෙන් ම  යුද හමුදා ක්‍රීඩා ඉසව් වෙනුවෙන් සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්ම යුද හමුදාවට බැඳුණු කෝප්‍රල් දුලාන් , ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු මධ්‍යස්ථානයෙන් ලත් තෙමසක පමණ පුහුණු කාල සීමාවකින් අනතුරුව නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි යුධ හමුදා විනයාරක්ෂක පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනියුක්ත කර තිබිණි . එම රෙජිමේන්තු  මධ්‍යස්ථානයේ සේවය කරන අතරතුරදීම ,හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් 2016 වසර දක්වා ම යුධ හමුදා ක්‍රීඩා සංචිතය නියෝජනය කළ ඔහු 2016 වසරේ පැවති  යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින්  නව තරඟ වාර්තාවක් ද බිහි කර තිබේ.


ඉන් අනතුරුව 2016 වසරේ දී ම අනපේක්ෂිත අයුරින් සිදු වූ  හදිසි යතුරු පැදි අනතුරකට භාජනය වීමෙන්  ආබාධිත තත්ත්වයට පත්විය. පසුකාලීනව ජාතික පැරා සංචිතයේ (F-44) ඒ කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ තරඟාවලි වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබේ . ඒ අනුව 2018 වසරේ ඉන්දුනීසියාවේ"ජාකර්තා" නුවර  පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වී , එහි  සිව් වන ස්ථානය දිනා ගැනීමට ද  සමත් වී ඇත. තව ද 2019 වසරේ ඩුබායි හිදී පැවති  ලෝක පැරා  මලල ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වී, මීටර 57 දුරක් වාර්ථා කරමින් එම තරගාවලියේ  සිව් වන ස්ථානය දිනා ගැනීමට ද හැකිවිය.

4 වන කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කරන සැරයන් ධර්මසේනද මෙවර ශ්‍රී ලංකාවට බලා පොරොත්තුවක් තබාගත හැකි මට්ටමේ දක්ෂතාවයන් ප්‍රකට කර තිබේ. කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කළ හෙතෙම, යුද්ධ හමුදාව ට බැඳීමෙන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්  රැසක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන් රණවිරුවෙකි .

ඒ අනුව යුද්ධය පැවති කාල සීමාව අතරතුර පැවති අවසන් මානුෂීය මෙහෙයුමේ නිරතව සිටියදී, එනම් වර්ෂ 2009 පෙබරවාරි මස 23 වන දින පුදුකුඩුඉරුප්පු කලපුව අසල දී ත්‍රස්තවාදීන් විසින් අටවන ලද බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් සිය වම් පාදයේ දණහිසට පහළින් වූ කොටස සම්පූර්ණයෙන් විනාශයට පත්වීම නිසා ආබාධිතව රනක්ෂිතයට පත් වූ හෙතෙම, ඉන් අනතුරු ව  ආබාධිත රෝද පුටු ටෙනිස් තරගාවලින්ට  සහභාගී වෙමින් එම අංශයෙන් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් වර්ධනය කරගෙන තිබේ.

තවද පැරා  ඔරු පැදීමේ තරග ඉසව්වෙන් මෙවර තරග වැදීමට නියමිත යුද හමුදා මාණ්ඩලික සැරයන්  ජයකොඩිද, මෙවර පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීම වෙනුවෙන්  සිය උපරිම ජවයෙන්  තරග වැදීමට  නියමිතය.

 



කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු දොඩන්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු, වර්ෂ 2007 පෙබරවාරි මස 12 වන දින ,ආධුනික සෙබළකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී මාදුරුඔය විශේෂ බලකා පුහුණු කඳවුරේ ලැබූ විශේෂ පුහුණු පාඨමාලාවකින්  අනතුරුව 1 වන විශේෂ බලකායේ ජුලියට් බල ගණයට අනුයුක්තව සේවය කරන අතරතුර මානුෂික මෙහෙයුම පැවැති කාල සීමාව අතර තුර, එනම් වර්ෂ 2009 අප්‍රේල් මස 07 වන දින, පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේදී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව, රනක්ෂිතයට  පත් වී තිබිණි.

තමා මුහුණ පෑ දරුණු අනතුරෙන් පසු මාණ්ඩලික සැරයන් ජයකොඩි ගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණිකව තිබුණ ද , ඉන් නොසැලී ,  සිය චිත්ත ධෛර්යය වඩාත් වර්ධනය කර ගනිමින් 2012 වසරේ සිට 2015 වසර දක්වා පැවති යුද හමුදා පැරා ආබාධිත රෝද පුටු තරගාවලි  සියල්ලම නියෝජනය කරමින් , ඒ සෑම තරගයකින්ම ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ .

තව ද එවකට ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ , මේජර් ජෙනරාල් අම්පෙ මොහොට්ටි   විසින් ලබා දුන් මග පෙන්වීම මත , මාණ්ඩලික සැරයන් ජයකොඩි ව පැරා ඔරු පැදීමේ තරගාවලියන් වෙනුවෙන් යොමු කරවීමට  එවකට අනුරාධපුර අභිමන්සලේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල මෙන්ම වත්මන රාගම රණවිරු සෙවනේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස කටයුතු කරන කර්නල් බන්දුල බණ්ඩාර විසින් කටයුතු  සංවිධානය කරන ලදී . මෙයට අමතර ව මාණ්ඩලික සැරයන් ජයකොඩිගේ  පුහුණුකරු වශයෙන් දැනට ශ්‍රී ලංකාවේ  සිටින ප්‍රථම අන්තර් ජාතික ඔරු පැදීමේ තරග විනිසුරු වරයාවන  ලසන්ත වැලිකල වෙත   ඔහුව යොමු කරවීමට එවකට පැරා ඔලිම්පික්  කමිටුවේ සභාපති වන මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි  විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දීමත් සමඟම 2016 වසරේ රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පැවති ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලියකට සහභාගි වී එහි මීටර් 500 සහ මීටර් 1000 තරඟ  ඉසව් වෙනුවෙන් සහභාගි වී ඉන් ප්‍රථම ස්ථානය දිනා රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ද සැරයන් ජයකොඩි සමත් වී ඇත .

තවද 2017 වසරේ පනාගොඩ යුද හමුදා ජනපදයේ පැවැති ගෘහස්ථ ඔරු පැදීමේ තරගාවලියකට සහභාගි වී, ඉන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමක් දිනා ගැනීමටත් , 2019 වසරේ කොරියාවේ දී පැවති ආසියානු පැරාලිම්පික් ශූරතාවලියකට සහභාගි වී ඔරු පැදීමේ තරග ඉසව්වක්  වෙනුවෙන් සහභාගී වී  ඉන් දෙවන ස්ථානය දිනා , රිදී පදක්කමක් දිනා ගැනීමටත් මාණ්ඩලික සැරයන් ජයකොඩි සමත් විය .


මේ අනුව 2021 අප්‍රේල් මස ජපානයේ ටෝකියෝ නුවර පැවැති "ඒෂියා     ඕසියානා"පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගී වී ඉන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් ඔරු පැදීමේ තරගාවලිය වෙනුවෙන් සහභාගි වීමට සුදුසුකම් දිනා ගැනීමට ද සැරයන් ජයකොඩිට හැකි වී තිබීම සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ මහත් උද්දාමයට හේතුවක් වී ඇත .

මෙහි ඇති වඩාත් විශේෂත්වය නම් දැනට මුළු ආසියාවෙන්මපැරාලිම්පික්  ඔරු පැදීමේ තරගාවලි වෙනුවෙන් සහභාගී වීමට  සුදුසුකම් ලබා ඇති එකම ක්‍රීඩකයා යුද හමුදාවේ විශේෂ බලකාය නියෝජනය කරන මාණ්ඩලික සැරයන් ජයකොඩි වීමයි .

මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබාගත හැකි තවත් ක්‍රීඩකයෙකු ලෙස හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන්  තරග වැදීමට නියමිත යුධ හමුදා ක්‍රීඩක සැරයන්    හේරත් එච්. එම් .ඩී .පී .  හඳුන්වා දිය හැක. කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු   කැකිරාව ඉපලෝගම කාගම ධාතුසේන  විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව  ,වර්ෂ 2004 මාර්තු මස 18 වන  දින ආධුනික සෙබළකු වශයෙන්  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැන් දී ඇති අතර , ඉන් අනතුරුව අනුරාධපුර සාලියපුර යුදහමුදා කඳවුරෙන් ලැබූ මාස හයක පුහුණු කාල සීමාවකින් අනතුරුව, 3 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරමින් සිටින අතරතුර, වර්ෂ 2008 දෙසැම්බර් මස 16 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ දී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් රණක්‍ෂිතයට පත් විය.



ඉන් අනතුරුව  අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලද යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් පුහුණු වීම් කටයුතුවල නිරතව 2012 වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියක මීටර 52 දුරකට හෙල්ල විසි කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගෙන ඇත .මෙයට අමතර ව 2012 වසරේ මැලේසියාවේ දී පවත්වන ලද විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියට දී තරගාවලියකදී මීටර 52.95 දුරකට සිය හෙල්ලය විසි කරමින් එහි ප්‍රථම ස්ථානය ද, 2014 වසරේ කොරියාවේ පවත්වන ලද ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියකදී , 06 වන ස්ථානය ද , 2015 වසරේ කටාර් රාජ්‍යයේ  පවත්වන ලද ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ 06 වන ස්ථානය ද , 2017 වසරේ ජර්මනියේ දී පවත්වන ලද පැරාලිම්පික්  සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී , මීටර 53.09  ක් දුරකට , සිය හෙල්ලය පතිත කරමින් එහි දෙවන ස්ථානය දිනා රිදී පදක්කම දිනා ගැනීමට ද  සමත්  විය . එමෙන්ම 2017  වසරේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පවත්වන ලද ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 59.90ක  දුරකට හෙල්ලය විසි කරමින් එහි දෙවන ස්ථානය දිනා රිදී පදක්කම හිමි කර ගැනීමටද හෙතෙම සමත් විය .

හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් මෙවර පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් බලාපොරොත්තු තබාගත හැකි තවත් අමිල ක්‍රීඩකයෙකු ලෙස යුද හමුදා  ක්‍රීඩක ,සැරයන් හෙට්ටිආරච්චි හදුන්වා දිය හැක. කැකිරාව රාමදෙගල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු   කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ  , වර්ෂ 2000 නොවැම්බර් මස 6 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට ආධුනික සෙබළකු වශයෙන් බැඳී ඇති අතර , ඉන් අනතුරුව පුත්තලම සිංහවිල්ලු වත්ත යුද්ධ හමුදා කඳවුරේ දී ලැබූ මූලික පුහුණුවකින් අනතුරුව 05 වන  විජයබා පාබල රෙජිමේන්තුව වෙත අනියුක්ත කර තිබිණි . පසුකාලීනව 53 වන සේනාංකයට අනුයුක්තව  කිලාලි ,මුහමාලේ සහ නගර්කෝවිල් යන ප්‍රදේශයන් හි සේවය කරමින් සිටින අතරතුර , වර්ෂ 2008 දෙසැම්බර් මස 4 වන දින කිලාලි මුහමාලේ ප්‍රදේශයේ දී , එල් .ටී .ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් අටවන ලද පුද්ගල නාශක බෝම්බයකට  ගොදුරු වීමෙන් බරපතළ තුවාල ලැබ සිය වම් පාදයේ දණහිසට පහළින් වූ කොටස සම්පූර්ණයෙන් ම කපා ඉවත් කිරිමට සිදු වීමෙන් හෙතෙම රණක්‍ෂිතයටපත්විය.

ඉන් අනතුරුව රාගම රණවිරු සෙවණ ට ඇතුළත් කරවන ලද සැරයන් හෙට්ටිආරච්චිට එවකට , විජයබා පාබල රෙජිමේන්තු මූලස්ථාන බල ඇණියේ  අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කර්නල්  අළුදෙනිය විසින් ලබා දුන් උපදෙස් මත , විජයබා රෙජිමේන්තුවට අයත් ආබාධිත රණවිරුවන්ගේ මලල ක්‍රීඩා කණ්ඩායමට බැඳී හෙල්ල විසි කිරීම , කව පෙත්ත විසි කිරීම සහ යගුලිය විසි කිරීම ආදී තරග ඉසව් ත්‍රිත්වය වෙනුවෙන් පුහුණු වීමට අවස්ථාව උදාවී  තිබිණි. ඉන් ලද පුහුණුව මත  2012 වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී  , හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින්  රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය . එම තරගාවලියේ දී ම යගුලිය විසි විසි කිරීම වෙනුවෙන් දෙවන ස්ථානය දිනා ගෙන එහි රිදී පදක්කම ද ,කව පෙත්ත විසි කිරීමේ  තරග ඉසව්වෙන් තෙවන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සැරයන් හෙට්ටිආරච්චිට හැකි විය .


එමෙන්ම 2012 වසරේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් ප්‍රථම ස්ථානය ද, යගුලිය විසි කිරීමේ තරග ඉසව්වෙන් දෙවන ස්ථානය ද ,කවපෙත්ත විසි කිරීමේ  තරග ඉසව්වෙන් තෙවන ස්ථානය ද හෙතෙම දිනාගෙන තිබේ.

මෙයට අමතර ව 2012 වසරේ මැලේසියාවේ දී පවත්වන ලද විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී  හෙල්ලය විසිකිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් තෙවන ස්ථානය දිනා ගනිමින් එහි ලෝකඩ පදක්කම ද , කවපෙත්ත විසි කිරීමේ තරග ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා එහි රිදී පදක්කම ද, දිනා ගත් ඔහු 2013 වසරේ චීනයේ පවත්වන ලද විවෘත පැරා මළල ක්‍රීඩා තරඟාවලියේ හෙල්ලය  විසිකිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.
මෙයට අමතරව මීටර 400 දුර දිවීමේ ඉසව්ව ට සහභාගී වන සමන් සුබසිංහ මෙන්ම මීටර් 100 දුර පැනීමේ ඉසව්වට සහභාගි වන කුමුදු ප්‍රියංකා ද එම තරඟ ඉසව්වන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගත හැකි මට්ටමේ  තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකි.

මේ  අනුව,  මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත පැරාලිම්පික් 2020 තරගාවලියට සහභාගි වන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්  අදාල තරඟ ඉසව්වන්  වෙනුවෙන් පදක්කම් දිනා තම මව් බිමට කීර්තියක්  ලබා දෙනු ඇතැයි  සමස්ත ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේම ,  ඒකායන බලාපොරොත්තුවයි  .

(දුමින්ද සෙනරත්)