COPE committee instructs ministry to look into tsunami money misuse

ජාතික විගණන කාර්යාලයේ විමර්ශනයකින් අනාවරණය කරගෙන ඇතැයි කියන සුනාමි ආධාර මුදල් අවභාචිත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් කෝප් කමිටුව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පෙරේදා (3 වැනිදා) කළ කැඳවීම හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන්ට කෝප් කමිටු සභාපතිවරයා එසේ දැනුම් දී  තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඊයේ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණ.

 චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කෝප් කමිටුවේ පෙරේදා රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්, එහි ලේකම් උපාලි හේවගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු දෙපාර්ශ්වයේ නීති, මූල්‍ය හා පරිපාලන අංශවල ඉහළ පෙළේ නිලධාරිහු රැසක් ද සහභාගි වී සිටියහ.

සුනාමි මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනයේ හිටපු කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල විය.  කෙසේ වුවත් එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තරම් කරුණු හෙළිවී නැතැයි රජයේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය නිගමනය ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.  මෙසේ අවභාවිත කර ඇතැයි දක්වා තිබෙන සුනාමි ආධාර මුදල් අතරට යුරෝ 40,400 ක් (එකල වටිනාකම අනුව ශ්‍රී ලංකා රුපියල් 62,87,670 ක්), ඩොලර් 260,000 ක් (එකල වටිනාකම අනුව රුපියල්  2,78,000,00 ක් සහ තවත් ශ්‍රී  ලංකා රුපියල් කෝටියකට  ආසන්න මුදලක් ද ඇතුළත් වේ. මෙම මුදල් සියල්ලේම එකතුව ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතර හමාරකට ආසන්නය.  මෙම අගයන් ඇත්තේ ඩොලරයේ වටිනාකම රුපියල් 107 ක් ලෙසින් සැලකීමෙනි. එහෙත්  ඩොලරයේ වත්මන් වටිනාකම රුපියල් 200 ඉක්මවයි.


 -නාමල් පතිරගේ-