Corona to 209 doctors

රට පුරා වෛද්‍යවරුන් 209 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.  මොවුන්ගෙන් 30ත් 40ත් අතර පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක්  වෛද්‍යවරයකු අසාධ්‍ය තත්වයෙන් ගාල්ල කරාපිටිය රෝහලේදී හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබන බවද සංගමය සඳහන් කරයි.  ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද කීය.  

කොරෝනා ආසාදිත වෛද්‍යවරු තිදෙනකු මේ වනවිට මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා රාගම රෝහලේ වෛද්‍යවරු දෙදෙනක් මෙසේ  ජීවිතක්ෂයට පත්ව ඇත.


වෛද්‍යවරුන් කොරෝනා රෝගයට ගොදුරුවීම ඉතා වේගයෙන් සිදුවන බවත් වෛද්‍යවරුන් ලෙඩවීමේන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති බැවින්  වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා සේවා වලින් ඉවත්වීම අර්බුදකාරී තත්වයක් බවත් එම සංගමය වැඩිදුරටත් පැවසීය. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද අසාදිත පිරිසට අයත් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.  දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000කට පමණ මේ වනවිට රෝගය ආසාදිතව ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.


 -නීමන්ති රණසිංහ--