Final report on the sudden death of Vishma Sandamali in Japan

ජපානයේ නගෝයා හි පවත්වාගෙන යන රැඳවුම් කඳවුරකදී ශ්‍රී ලාංකික කාන්තාවකවූ 33 හැවිරිදි විශ්මා සඳමාලි පසුගිය මාර්තු මාසයේ හදිසියේ මියයාම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති විය. ඇය නිරාහාරව මියගිය බවට හා ඇය ගැන සොයා බලන්නට කෙනෙක් නැතිව නිරපරාදේ මරණයට පත්වන්නට සිදුවූ බවට චෝදනාද ගොනු විය.
මේ සම්බන්ධයෙන් ජපානයේ අධිකරණ ඇමති යෝකෝ කමිකාවා මැදිහත්වී නාගොයාහි ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශය ප්‍රශ්නයට ලක්කරමින් විශේෂ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහි අවසන් වාර්තාව මේ වනවිට සූදානම්ව ඇතැයි ජපන් මාධ්‍ය අද (5) වාර්තා කළේය.



විශ්මා සඳමාලි ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා 2017 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට ජපානයට පැමිණි නමුත් පසුව ඇය ඉගෙනුම ලබන පාසලෙන් නෙරපා හරින ලදී. ඇය ඉන්පසුව දිගටම සිටියේ ජපානයේය.පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නීති විරෝධී ලෙස වීසා බලපත්‍රයට අදාළ කාලයට වඩා වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් ඇයව නගෝයා ආගමන සේවා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි මාස ගණනාවක් ඇය රඳවා තබා ඇත.
ඇයගේ මරණය මාර්තුවේ සිදුවන්නට පෙර තම සෞඛ්‍යය පිරිහීම ගැන ඇය පැමිණිලි කර ඇත්තේ ජනවාරි මැද භාගයේ සිට ය.
අධිකරණ ඇමති යෝකෝ කමිකාවා ඒජන්සියට උපදෙස් දී තිබුනේ තුන්වන පාර්ශවයේ ප්‍රවීණයන් සම්බන්ධ පරීක්ෂණයක් මඟින් ඇයට සිද්ධවූ දේ කරුණු පැහැදිලි කරන ලෙසයි.
ආරංචි මාර්ග වලට අනුව, නාගොයා ආගමන කාර්යාංශයට නිසි වෛද්‍ය ක්‍රමයක් නොතිබූ බව පරීක්ෂණයෙන් අනාවරණයවී ඇත. ඒ වෙත අර්ධකාලීන වෛද්‍යවරයෙක් පැමිණ තිබී ඇත්තේ සතියකට පැය හතරක් පමණි. විශ්මා සඳමාලිගේ අසනීප තත්ත්වය උත්සන්න වූ දින පවා වෛද්‍ය සේවකයෙකු නොසිටි බව අනාවරණයවී ඇති අතර පසුව ඇය මිය ගියාය.
ඇය මියයනතුරු නිසි පහසුකම් ලබා නොදීමට අදාළ ආයතනය අපොහොසත්වීම සම්බන්ධයෙන් චෝදනා ගොනුවී ඇත.
විශ්මා සඳමාලිට අභ්‍යන්තරව ප්‍රතිකාර ලබා දෙන්නට බැරිනම් බාහිර වෛද්‍ය ආයතනයකට කැඳවා යන ලෙස ඉල්ලීම් කර තිබූ නමුත් කාර්යාංශයේ උසස් නිලධාරීන්ට මෙම ඉල්ලීම් ගැන දැනුම්වත් කර නැති අතර එම සංවිධානය ඒ ගැන ප්‍රතිචාර නොදැක්වීය.


පශ්චාත් මරණ පරීක්‍ෂණය සහ වෙනත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුවත් ඇයගේ මරණයට හේතුව තවමත් අපැහැදිලි ය.
රඳවා ගැනීමේදී විශ්මා පවසා තිබුනේ තමා සමඟ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් ශාරීරිකව අපයෝජනයට ලක් කළ බවයි. ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවෙකු ලෙස රැඳවියෙකු පිළිගනු ලැබුවහොත්, ආයතනයේ අභ්‍යන්තර රෙගුලාසි වලට අනුව, රඳවා සිටින තැනැත්තා සහ අනෙකුත් අදාළ පුද්ගලයින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ යුතු නමුත්, කාර්යාංශය මෙම සම්මුඛ සාකච්ඡා පැවැත්වුවේ නැති බවද අනාවරණය වී ඇත.
අධිකරණ ඇමතිවරයා කැඳවූ වාර්තාවේ මෙම ගැටලු ගැන සඳහන්ව ඇති අතර ආයතනයේ අඩුපාඩු සකස් කිරීමට උපදෙස් ලබාදී ඇත. පූර්ණ කාලීන වෛද්‍යවරයකු ලබා ගැනීමෙන් වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කිරීම සහ රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් කරුණු පිළිබඳව නිලධාරීන් සමඟ නිරතුරු තොරතුරු හුවමාරු කර ගැනීම වැනි පියවර ඇතුළත් වේ.
මෙම වරද සම්බන්ධයෙන් කවර දඩුවමක් ලබාදෙන්නේද යන්න අධිකරණ ඇමතිවරයා තීරණයක් ලබාගනු ඇති බවද ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.