Foreigners-without-a-visa-in-Sri-Lanka-USD-500-fined

ශ්‍රී ලංකාවේ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයන්ට වීසා ගාස්තුවට අමතරව එක්සත් ජනපද ඩොලර් 500 ක අමතර දඩ මුදලක් පනවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නව ආගාමික හා විගාමික රෙගුලාසි අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් දෙපාර්තමේන්තුව මෙම වීසා ගාස්තු සංශෝධනය නිවේදනය කර ඇත.



මීට අමතරව මින් ඉදිරියට විවිධ කණ්ඩායම්වලට අයකෙරෙන සංශෝධිත වීසා ගාස්තුද නිවේදනය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට, ආයෝජකයන්ට, සේවා නියුක්තිකයන්ට, වෛද්‍ය ප්‍රතිකාර ලබන්නන්ට හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට අය කෙරෙන වීසා ගාස්තුව ඩොලර් 200 කි. එසේම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයත් වූවන් ඇතුළු තවත් කාණ්ඩ කිහිපයකට ඩොලර් 100 බැගින්ද, තවත් කාණ්ඩ කිහිපයකට ඩොලර් 150, 60, 50, 40 සහ 30 බැගින්ද වීසා ගාස්තු සංශෝධනය කර තිබේ.

මේ අතර පූජ්‍ය පක්ෂ මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් සමග විවාහ වූ විදේශීය කාලත්‍රයන් ඇතුළු කාණ්ඩ කිහිපයක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම සංශෝධිත ගාස්තු 2021 අගෝස්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.