It-will-be-decided-this-afternoon-whether-the-curfew-will-be-extended-or-not
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි.
එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙනු ඇති.
ඊයේ වනවිට කොරෝනා මරණ දෛනිකව 200 සීමාව ඉක්මවා ගිය අතර ආසාදිත සංඛ්‍යාව 5000 ට ආසන්න වෙමින් පැවතිණි.
කෙසේ වෙතත් දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වැනිදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබුණි.



රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු කියා සිටියේය. ආන්ඩු පක්ෂයේ ඇමතිවරුන් ගණනාවකගේ අදහසද එයවී තිබූ අතර ඇතැම් ඇමතිවරුන් මේ ගැන කතාකර තිබුනේ ආර්තික පාඩුව කෝණයෙන් පමණි.
මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක ඉල්ලීම සලකා බලමින් බවත් ඒ නිසාම වසන්නට සිදුවූ බවත් සෞඛ්‍ය ඇමතිවරයා කියා තිබුණි.
‘ඉල්ලා බලකිරීම නිසා‘ රට වැසීමක් සිදුවූ නිසා පොලිසිය පවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේදී දුර්වල විලාසයක් පෙන්නුම් කර ඇති බවත් පාරේ වාහන ඕනෑතරම් දුවන බවත් මේ අතර චෝදනාවක් වී තිබේ. ඇඳිරි නීතිය අතරේ සුළු ක්‍රියාකාරකම් ගණනක් පමණක් සීමාවීම මත අර්ථයකින් තොරව වෛරසය පැතිරයාම සිදුව යන බවද ඒ සමගම පෙන්වා දී ඇති කරුණයි.
විද්‍යාත්මක රට වැසීමක් නොකළ බව මේ නිසා වෘත්තිය සමිතිකිහිපයක් පෙන්වා දී තිබුණි.

ඒ සදහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්ද ඉයේ පැවැත්වුණි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි. පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාව පවත්වා තිබෙන අතර එහි ප්‍රගතිය ගැන සඳහනක් නැත.