අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.  රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 දක්වා ද, සීනි කිලෝවක් රුපියල් 215 දක්වා ද, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 දක්වා ද, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 දක්වා ද, රට ලූනු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු  ලූනු කිලෝවක් රුපියල් 400 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ඔවුහු සඳහන් කරති. 

සිල්ලර වෙළෙඳුන් පවසන්නේ අත්‍යවශ්‍ය   ආහාර ද්‍රව්‍යවල තොග මිල වැඩි වීම හේතුවෙන්  පිරිප්පු, සීනි, අල, ලූනු සහ හාල්මැස්සන් කරවල ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට  සිදුවූ බවයි.

සතොස රතු පරිප්පු කිලෝවක මිල ද ඊයේ (26) රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබිණි.සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෙඳපොළට වඩා අඩු මිලට ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග වෙළෙඳපොළේ එළවළු මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.  එළවළු සිල්ලර වෙළෙඳාමේ නිරතවන්නන් පවසන්නේ, එළවළු තොග මිල ඉහළ යෑම නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 240ක් ලෙස ඊයේ (26) වාර්තා වූ අතර, සිල්ලර මිල රුපියල් 280ත් 290ත් අතර මිලකට පැවැතිණි. කැරට් කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට ඊයේ අලෙවි වූ අතර, ලීක්ස් කිලෝවක් රුපියල් 320කට අලෙවි විය. වමබොටු සහ ගෝවා කිලෝවක මිල ද රුපියල් 250කට ආසන්න පැවැති අතර, වට්ටක්කා, පතෝල, බීරූට් සහ වැටකොළු යන එළවළු වර්ගවල මිල ද කිලෝවක් රුපියල් 200ක් ලෙස පැවැතිණි.



කොරෝනා වසංගතයත් සමග ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස භාවිත කරන අමු ඉගුරු කිලෝවක තොග මිල රුපියල් 650ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, සිල්ලර වෙළෙඳපොළේ අමු ඉගුරු ග්‍රෑම් 100ක් රුපියල් 80ත් 90ත් අතර මිලකට අලෙවි විය.


 -යොහාන් භාසුර--