වරක් භාවිත කර (Single Use) ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් යොදාගෙන නිපදවන ලද ෂොපිං බෑග්,ග්‍රොසරි බෑග්,මල් මාලා ඇතුළු නිෂ්පාදන හතක් තහනම් කිරීමට අදාළ ඇමැති මණ්ඩල පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (30 වැනිදා) ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. ඒ අනුව එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමට යෝජිතය.
ඒ යටතේ පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට ( Straws) හා කළතනයන් ( Stirrers) , ප්ලාස්ටික්වලින් සකස් කරන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු , ප්ලාස්ටික් ඉඳි ආප්ප සකසන වට්ටි, ප්ලාස්ටික්වලින් නිර්මිත කෘත්‍රිම තෘණ ඇතිරිලි (ගෘහස්ථ ක්රීඩාගාර සඳහා භාවිත කිරීම හැර) ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා, ඇතුළත දිග අඟල් 12ක්, පළල අඟල් 10ක් වන ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත ග්‍රොසරි බෑග් හා සිලි සිලි මලු තහනමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දින ඉදිරිපත් කෙරේ. පරිසර අමාත්‍යාංශය පසුගිය මාර්තු 31 වැනි දින සිට සැෂේ පැකට් ඇතුළුව එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග 05ක් තහනම් කළේය.
එමෙන්ම පසුගිය අගෝස්තු 01 වැනි දින සිට දිරාපත් නොවන ලන්ච් ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.
වාර්ෂිකව මෙරට පරිසරයට මුදා හරින සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි 200 ඉක්මවන බව පරිසර ඇමැති මහින්ද අමරවීර කියයි.
(සාලිය කුමාර ගුණසේකර)
0 Comments