Seventyfive percent of pregnant mothers are vaccinated

මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට  75කට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30) පැවසුවාය.   ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ සතියක් මේ වනවිට ක්‍රියාත්මක අතර එහිදී ද ගැබිනි මවුවරුන් බොහෝ දෙනකු එන්නත් ලබාගෙන ඇතැයි කී අධ්‍යක්‍ෂවරිය මෙතෙක් එන්නත් නොගත් අය සිටිත් නම් ප්‍රදේශයේ සායනයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස් ලබාගන්නැයි තමා ඉල්ලීමක් කරන බව ද සඳහන් කළාය.  ගැබිනි මවකට කෝවිඩ් ආසාදිත වුවහොත් සංකූලතාවලට ලක්වීමේ ඉඩ ඉතා වැඩි බව කී විශේෂඥ වෛද්‍යවරිය මේ  වනවිට මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි  මවුවරුන්ගේ මරණ 32ක් සිදුව ඇතැයි ද  කීවාය.




 මෙය ඉතා භයානක තත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනටත් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 900ක් පමණ  රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 4,200ක් පමණ වාර්තා වී ඇති බවත් පැවසුවාය.විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ගැබිනි මවුවරුන් හැකිතාක් නිවෙසට වී ආරක්ෂාව සලසා ගැනීම ඉතා වැදගත් බව ද ඇය මෙහිදී සඳහන් කළාය. ගැබිනි මවුවරුන් එන්නත්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ එන්නත්කරණ සතිය ඉකුත් 24 වැනිදා ආරම්භ වූ අතර එය අදින් (31) අවසන්වීමට නියමිතය.


 -ඩයනා උදයංගනී--