The-Dodanduwa-authorities-did-not-mark-the-card-and-send-it-home-without-vaccination

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබා නොදී කාඩ්පත්වල සලකුණු කොට ගෙදර යැවීම නිසා දොඩන්දූව රෝහණ විද්‍යාලයේ පැවැති කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේ ජනතාව අතර මහත් නොසන්සුන්තාවක් ඇතිවිය.
එය නොදන්නා කවුරු හෝ කළ වැඩක් බවත් හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් දැනුම්වත්ව කළ එකක් නොවන බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දැන් ප්‍රකාශ කරයි.


‘‘වෛද්‍යවරුන් දැනුවත්ව එසේ එන්නත් කාඩ්පත්වල සලකුණු කරලා නැති බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය මට දැනුම් දීලා තියෙනවා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක ජනතාවට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා තමයි රෝහණ විද්‍යාලයේදී මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ.

නමුත් මෙම ස්ථානයට තියෙන ග්‍රාම නිලධාරී වසම් 04ක පදිංචිකරුවන්ට අමතරව රත්ගම හා හික්කඩුවේ වෙනත් ග්‍රාම නිලධාරීවසම්වල පදිංචිකරුවන්ද ඇවිත් තියෙනවා. නමුත් එන්නත් තිබිලා තියෙන්නේ එම ග්‍රාම නිලධාරී වසම් 04 අයට සඳහා පමණයි. එන්නත් ඉතිරි වුණොත් දෙන්නම් කියලා කියා තිබෙනවා. ඊට පසුව තමයි කලබලයක් ඇති වෙලා තියෙන්නේ.​ පොලිසියත් ආරක්ෂාවට මේ ස්ථානයේ ඉඳලා තියෙනවා. නමුත් තත්ත්වය තරමක් කලහකාරී අතට හැරීම නිසා යුද හමුදාවත් ස්ථානයට කැඳවලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එන්නත්කරණ වැඩසටහන් කරගෙන ගිහින් තියෙනවා. නමුත් මේ ගැටලුව විසඳීමට නොහැකිවීම නිසා ආරක්ෂක අංශවල උපදෙස් මත තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් ගිහින් තියෙන්නෙ. එන්නත් 100ක පමණ ප්‍රමාණයක් තමයි ඉතිරිවෙලා තිබිලා තියෙන්නේ.

දොඩන්දූව රෝහණ විද්‍යාලයේ පැවැති කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමේ එන්නත්කරණ වැඩසටහනේදී එන්නත් ලබා නොදී කාඩ්පත්වල සලකුණු කොට ඇති බවට පිරිසක් චෝදනා කළහ. තමන්ට එන්නත් ලබා නොදී යළි එන්නත් රැගෙන ගිය බව එම පිරිස චෝදනා කළහ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මගින් මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කොට තිබිණි.



එම එන්නත්කරණ වැඩසටහන ඉතා අසංවිධානාත්මකව කළ බවට එම පිරිස චෝදනා කළහ. තමන් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් නිසා තමන්ට එන්නත් ලබාදීමට නොහැකි බවට හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළ බවද ඔවුහු සඳහන් කර සිටියේය. මෙම තත්ත්වය සමග එන්නත්කරණ මධ්‍යස්ථානයම තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර ඒ සමග තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ පවා කැඳවා තිබිණි.

(රවින්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම, යූ.එම්. තිලකරත්න - ලබුදූව)