කොරෝනාවෙන් අහිමිවන සිය ගණන් ජීවිත අතර කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ අසන්නට ලැබෙන අනුවේදනීය සිදුවීමකින් පැවසෙන්නේ සිය පස් හැවිරිදි දියණිය මෙලොව තනිකර දමා මවත් පියාත් කොරෝනා රෝගයට ගොදුරුව සිය ජීවිතවලින් සමුගන්නට සිදුවූ ශෝචනීය පුවතකි.



මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරුද්ධ මහතා සහ 27 හැවිරිදි ඔහුගේ බිරිඳය.

ධනංජය මහතා කොරෝනා ආසාදිතව ඉකුත් 22 වැනිදා මරණයට පත්වී ඇති අතර බිරිඳ ඊයේ (25 දා) අලූයම මෙලොවින් සමුගෙන ඇත.

ඔවුනගේ පස් හැවිරිදි දියණිය මේ වනවිට සිය ආදරණීය මව සහ පියා අහිමිව අසරණ වූවාය.

සිය හයවැනි විවාහ සංවත්සර සැමරුමට පෙර දින එනම් අගෝ: 24දා ජීවිතයට සමුදුන් දහස් සංඛ්‍යාත
දරුවන්ට ඉංග්‍රීසි භා‍ෂාව ඉගැන් වූ අතිදක්ෂ තරුණ ගුරු පියකුගේ අභාවය සැලවීමෙන් එතුමාගේ
මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය, සමීපතමයන් මෙන්ම දෙස් විදෙස් ශිෂ්‍යයන්ද විශාල කම්පනයකට පත්වී
සිටී. කිරිබත්ගොඩ ජාතික  නිවාස ක්‍රමයේ පදිංචිව  සිටි ධනංජය අනුරාධ තරුණ ගුරු මහතා ඉංග්‍රීසි
 ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට  පත්  අයෙකි. කිරිබත්ගොඩ  වාසිටියේ සතියේ දින පහේම උදෑසන 8.00
සිට අපොස සා. පෙළ හා උසස් පෙළ තරුණ  සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන් වූ  ඔහු එම සිසුන් අතර
වඩාත් ජනප්‍රිය චරිතයක් වී ඇත්තේ සැබැවින්ම  ඔහු තුළ තිබූ මානුෂික  ගුණාංගයන් නිසාය.
1985/4/10 වැනිදා සිය පවුලේ වැඩිමහල්  දරුවා ලෙස උපන් ධනංජයට එක් සොයුරියක් සහ බාල
සොහොයුරෙක් සිටී.

1993/7/27 වැනිදා උපන් රත්මලාන ප්‍රදේශයේ  පදිංචි අංජලී පෙරේරා සමඟ 2015/8/24
වැනිදා   විවාහ වී ඇති ධනංජය අනුරාධ මහතාගේ  වියෝව ඇසූ බිරිය එම කම්පනයෙන්ම ඔවුන්ගේ විවාහ
සංවත්සරයදා එනම් 24 වැනිදා  අලුයම  2.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී  ඔවුන්ගේ එකම
සිඟිති දියණිය තනිකර දමා මෙලොවින් සමුගෙන ඇත. මියගිය ධනංජය අනුරාධ මහතා සහ ඔහුගේ බිරියටත්
පස් හැවිරිදි කුඩා දියණියටත් එකවරම උණ රෝගය වැලඳී ඇති අතර තිදෙනාම රාගම  ප්‍රදේශයේ
පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තිදෙනාටම
කොවිඩ්-19 වැලඳී ඇතැයි තහවුරු වී ඇත. එහිදී ලබාදුන් ප්‍රතිකාරවලින් දියණියට රෝගය සුව වූ නමුත්
 ඔවුන් දෙදෙනාට සුවයක් නොලැබුණු බැවින් ඔවුන් දෙදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා
ගැනීමට  තීරණය කර ඇත.

රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික  රෝහලකට ඉකුත්දා (19දා) නේවාසිකව  ප්‍රතිකාර ගැනීමට
 ඇතුළු වී ඇති ධනංජය සහ බිරිය 22 වැනිදා තෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ගෙන ඇත. 22
වැනිදා සවස 6.00ට පමණ ධනංජයට  හුස්ම ගැනීමේ  අපහසුතාව වැඩිවී ඇති අතර  ඔහුව රාගම
පෞද්ගලික රෝහලෙන් වැලිසර කොවිඩ්-19 රෝහලට මාරු කර යවා ඇත. එදිනම රාත්‍රි  10.30ට
වැලිසර  රෝහලේදී ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පුරා වසර 15ක් ඉංග්‍රීසි  භාෂාව ඉගැන් වූ ආදරණීය
ධනංජය සර් ජීවිතයෙන් සමුගෙන ඇත.



ඒ වන විට කොවිඩ්-19  රෝගියකු ලෙස සිය නිවෙසේ නිරෝධායනය වෙමින් සිටි අංජලී පෙරේරා සිය
සැමියාගේ වියෝව ඇසීමෙන් මහත් කම්පනයට පත්වීමෙන් ඇයව ශ්‍රී ජයවර්ධනපුර  රෝහලට ඇතුළත් කර ඇති
අතර 24 වැනිදා අලුයම 2.00ට පමණ  ඇයද අවසන් ගමන් ගොස් ඇත. මියගිය ධනංජය අනුරාධ ගුරු
පියාණන්ගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල, සියඹලාපෙවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති
අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු 26 වැනිදා උදේ 10.30ට තලවතුගොඩ
ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

ධනංජය අනුරාධ මහතාගේ වියෝවෙන් තැවෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන්  අතර සිටින
ප්‍රවීණ ගණිත ගුරුවරයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන පියල් සෙනෙවිරත්න මහතා පැවැසුවේ “කොවිඩ්-19
 මාරයා රැගෙන ගිය ධනංජය මිනිසත්කමින් පරිපූර්ණ  වූ අයකු බවයි.” ධනංජය  කියන්නේ සුවහසක්
දරුවන්ට තාත්තෙක්. එයා ඉගැන්නුවේ අපේ රටේ අනාගතේ භාරගන්න ඉන්න තරුණ පිරිසට. ඒ දරුවො අතර
මගේ පුතා චමෝද් එක්කෙනෙක්.

වසර 15ක් කැප වුණේ දරුවො අකැමැති වෙන ඉංග්‍රීසි භාෂාව ඔවුන්ට දෙන්න. දැනුම බින්දුවෙන් එන
දරුවත් සුද්දෙක් වගේ භාෂාව හසුරුවන තත්ත්වෙට ගේන්න එයා දක්ෂයි. මේ පාඩුව මකන්න කාටවත්
බැහැ. අද මේ වෙනකොට ධනංජයගෙන් ඉගෙන ගත්ත ළමයි ලෝකේ රටවල්  පුරාම ඉන්නවා.

රටේ ලක්ෂ ගාණක්  දරුවන්ට උගන්නපු  මේ ගුරු පියාගේ එකම පුංචි සිඟිති ‍ෙදා්ණිට අද අම්මත් නෑ.
තාත්තත් නෑ. කොවිඩ්-19 ඇත්තෙන්ම  මාරයෙක්. මේ වගේ වටිනා ජීවිත රටට අහිමි වීම දරාගන්න බැරි
පාඩුවක්” යැයි පියල් සෙනෙවිරත්න  මහතා පැවැසීය.

කැලණිය  - කුසුම්  එස්. හැන්නදි