University student and hospital employee edit womens FB profile photo

තරුණ කාන්තාවන්​ගේ සමාජ ජාලා ගිණුම්වලට රහසිගතව ඇතුළු වී එම කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් සකස් කර සැකසූ කාන්තාවකට හා ඇයට සම්බන්ධ අයට යවමින් තර්ජනය කරමින් කප්පම් ඉල්ලූ තරුණ පරිගණක අපරාධකරුවන් දෙදෙනකුගේ ජාවාරම හසුකර ගැනීමට පසුගියදා ඇඹිලිපිටිය පොලිසිය සමත්ව තිබේ.

මෙම අයගේ ග්‍රහණයට අසු වූ තරුණ විවාහක කාන්තාවක් විසින් පසුගිය 25 දා ඇඹිලිපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී අදාළ සැකකරුවන් දෙදෙනා පිළිබඳ හඳුනා ගනිමින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් මෙම ජාවාරමේ පළමු සැකකරු යාය 11 ජයන්තිපුර පොළොන්නරුව ප්‍රදේශයේදී 27 අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දෙවන සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු කොළඹ පුද්ගලික රෝහලක සේවය කළ අයෙකි. ඔහුද එදිනම අත්අඩංගුවට ගෙන තිබේ.

පළමු සැකකරු 21 හැවිරිදි සරසවි සිසුවෙකි. දෙවන සැකකරු 23 හැවිරිදි අයෙකි.

මොවුන් දෙදෙනාම පරිගණක ශිල්පය පිළිබඳ හසල දැනුමක් ඇති ඇත්තන් බව පොලිසිය කියයි. මොවුන්ගේ ග්‍රහණයට හසු වූ එක් තරුණ කාන්තාවකගේ මැසෙන්ජර් ගිණුමට රහසිගතව ඇතුළු වී ඇති සැකකරුවන් එහි තිබූ ඇයගේ ඡායාරූප පහක් නිරුවත්ව සකසා ඒවා ඇයටත් විදෙස්ගතව සිටින ඇගේ සැමියාටත් ඇයට සම්බන්ධ සමාජ ජාලා ගිණුම්වල යෙහෙළියන්ටත් යවා තිබේ.

මෙම සැකකරුවන් නිර්මාණය කළ ව්‍යාජ සමාජ ජාලා ගිණුමක් ඔස්සේ මෙම ඡායාරූප යැවීම සිදුකර ඇති අතර මෙම කාන්තාවගේ හා තවත් කාන්තාවන්ගේ වට්ස් ඇප් හා මැසෙන්ජර් ගිණුම්වලට හොරෙන් ඇතුළු වෙමින් මාස කිහිපයක් අසභ්‍ය ඡායාරූප යවමින් ඇයට තර්ජනය කර තිබේ. ඇය මේ පිළිබඳ විදේශගත ඇගේ සැමියාටද දැනුම් දී ඇත. ඒවා ඔහු මේ පිළිබඳවද මෙම සැකකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ එසේ නොකර නිදහසේ සිටීමට ඉඩ දෙන ලෙසටයි. එහෙත් දිගටම තර්ජනය කරමින් රු. ලක්ෂ දෙකක මුදලක් ලබා​දෙන ලෙසට අදාළ කාන්තාවට තර්ජනය කර ඇත. එසේ නොවන්නේ නම් ඇගේ අසභ්‍ය ඡායාරූප සමාජජාලා ගිණුම්වලට යවා ප්‍රසිද්ධ කරන බවටද තර්ජනය කර ඇත.

මේ නිසා දැඩි අපහසුතාවට පත් වූ එම කාන්තාව පළමු සැකකරුගේ ගිණුමට රු. දසදහසක මුදලක් යවා තිබේ. ඉන් පසුදින කිහිපයක නිශ්ශබ්දතාවක් තිබී ඇති අතර යළිත් අසභ්‍ය ඡායාරූප ඇයට එවමින් තවදුරටත් මුදල් ඉල්ලා තර්ජනය කරන නිසා මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.



අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබූ ජංගම දුරකථන දෙකක් හා ලැප්ටොප් පරිගණක ද පොලිස් භාරයට ගෙන ඇත. ඒවායේ අසභ්‍ය ලෙස සකසන ලද කාන්තා ඡායාරූප සියයකට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි. කාන්තාවන්ගෙන් හොරෙන් ඡායාරූප අසභ්‍ය ලෙස සැකසීම හා ඒ ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන නිර්මාණය කර එම කාන්තාවන්ගේ මිතුරන්ගේ ගිණුම්වලට යවා ඇත.

මේ ගැන තොරතුරු මූලිකව ලද අවස්ථාවේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එම්.ජේ. ආරියරත්නගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන්ගේ කැපවීම පරිදි දින 02ක් තුළ මෙම ජාවාරමේ සුලමුල සොයා ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා පෙරේදා (28දා) දහවල් ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්. 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ පරිගණක අපරාධ සෙවීමේ අංශයට භාරදී ඇත.

(සුනිල් හරිස්චන්ද්‍ර - ඇඹිලිපිටිය)