ඉරිදා දිනයේ අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළේය.
දීර්ඝ කතාව අවසානයේ ඔහු ඉල්ලීම් කීපයක්ද කළේය. ඒ මෙසේය.



 ‘මේ රටේ පුරවැසියන්ගෙන් අප පක්‍ෂයක් විදිහට ඉල්ලන්නේ, ඔබගේ ආරක්‍ෂාව මේ පාලකයාගෙන් හෝ මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දෛනිකව සිය ගණනක් මිය යමින් තිබියදී පාලකයෙකුට මේ ලෙස ඉන්න පුළුවන් නම් ඔහු කොතරම් මුග්ධ, තෙතමනයක් නැති පාලකයෙක්ද? දැන් පුරවැසියන් තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පසුගිය දවස්වල අම්බලන්තොට ඇතුළු නගර ගණනාවක් ස්වේච්ඡාවෙන් වසා දැමුවා. මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමය මේ ලෙසම ජනතාවගේ ආරක්‍ෂාව ඔවුන්ම සලසා ගන්නා ලෙස ඉල්ලා සිටියා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමියත් මේ ඉල්ලීම කළා. තමන් වෙනුවෙන්,

තමන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, ඥාතීන් සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ආරක්‍ෂා වීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටිනවා.

රජයේ සේවකයන් සේවයට කැඳවූවත් නොයන ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ ජීවිකාවට රස්සාව කළ යුතු බව ඇත්ත. නමුත් ඔබේ ජීවිතය කියන්නෙ රස්සාව නෙවෙයි. සෑම පුරවැසියෙක්ම ස්වේච්චාවෙන් අගුළු දමා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ව්‍යසනයේ ගොදුරු බවට කිසිවෙකුත් පත් වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. සුනාමි ව්‍යසනයේදී 45,000ක් පමණ අහිමි වුණු ජාතියක් අපි. මේ රටේ පාලකයාගේ අමනෝඥ ක්‍රියාමාර්ග නිසා පුරවැසියන් මිය යා යුතුද කියන ප්‍රශ්නය අහනවා.

අපි තව දුරටත් අවධාරණය කරන්නේ ඔබ ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ ඔබගේ ආරක්‍ෂාව ප්‍රමුඛ කොට ගන්න. එහිදී යම් අපහසුතාවයකට පත් වෙනවා නම් දේශපාලන පක්‍ෂයක් හැටියට යම් සහනයක් වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න තිබෙනවා නම් අපි ඒ වෙනුවෙන් සූදානම්. මේ රටේ මිනිස්සුන් ඇති තරම් කඳුළු හලා තිබෙනවා. මේ මහ පොළොව ඇති තරම් ලේවලින් තෙත් වී තිබෙනවා. අපේ පරම්පරාවේ මිනිස්සු මෙම ජනාධිපතිවරයාගේ තකතීරු තීන්දුවල ගොදුරු බවට පත් නොවිය යුතුයි.

ඒ නිසා ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔබට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. අනෙක් අයටත් මේ පණිවුඩය කියන්න. ජනතාවක් හැටියට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට සාමූහික තීරණයකට එළඹෙමු. තනි තනිව ආරක්‍ෂා වීමේ විධිවිධාන උපරිමයෙන් යොදා ගනිමු. “