බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති තත්වය සම්බන්ධයෙන් තමන්ටත් ඇත්තේ බියක් බවත් රෝගය සමාජගත වීමේ මට්ටමෙනුත් එපිටට ගමන්කර ඇති බවක් පෙන්නුම් කෙරෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
"බදුල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අපට තියෙන්නෙ බියක්. ඇත්තටම දැන් නම් සමාජගත වෙලාටත් වඩා එහා මට්ටමකට ගිහින් තියෙන්නෙ. නමුත් අපි දැන් සාම්පල් අරගෙන ජීව පටක තරලය අරන් තිබ්බ ගමන්ම ඒක පොසිටිව් අයගෙ පොසිටිව්.
ඒ කියන්නෙ විශාල වෛරස් ප්‍රමාණයක් ආසාදිත පුද්ගලයින් තුළ තියෙනවා.
මම කියන්න ඕනෙ මෙන්න මේ දේ. අමාත්‍යාංශයට හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට හෝ වෙනත් කිසිම බලධාරියෙකුට කිසිම අදහසක් තක්සේරුවක් නෑ කොපමණ රෝගීන් ප්‍රමාණයක් සමාජයේ ඉන්නවාද, කොපමණ රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත වෙන්නෙ නැතුව ගෙවල් තුළ ඉන්නවද කියන එක සම්බන්ධයෙන්. දැන් ඊයෙ වෙනකොට ඊයෙ දවසට කරලා තියෙනවා ඇන්ටිජන් පරීක්ෂණ බාහිර රෝගී අංශයේ 63ක්. ඒකෙන් 30ක් පොසිටිව්. ඒ කියන්නෙ 50%ක්.
මේ ආකාරයට තව දවස් කීපයක් ගියොතින් අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම අපගේ රෝහල් ධාරිතාවය ඉක්මවා යනවා. ඒ තත්වයට බදුල්ල රෝහල පත්වෙන්න තව වැඩි දවසක් නෑ කියන එක අපි අනතුරු හඟවනවා. සමහරවිට අපටත් සිදුවෙයි බදුල්ල රෝහලෙත් ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කරන්න"
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව විසින් ඊයේ (06) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
0 Comments