බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවකුට අධිකරණයේදී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුලදී ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබීය.
වයස අවුරුදු දාහතරක දැරියක ඇගේ සුළු පියා විසින් දූෂණය කරනු ලැබූ බව කියන මෙම සිද්ධියට අදාළ සැකකාර පියාට ඇප ලබාදීම සඳහා අධිකරණයේදී විරුද්ධ නොවී සිටීමට සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ලබා ගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ වින්දිත දැරියගේ සහෝදරයා බවද එම කොමිසම සඳහන් කරයි.
තම සුළු පියා වන සැකකරු තම එකම සහෝදරියට අතවර කළ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනබවත් ඔහුට ඇප ලබාදීමට විරුද්ධ නොවී සිටීම සඳහා මෙම පොලිස් කොස්තාපල්වරයා තමගෙන් රුපියල් 75,000 ක මුදලක් ඉල්ලා සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත. පසුව එකඟතාවකට පැමිණ රුපියල් 75,000 ක මුදල 25000 දක්වා අඩු කර ගත් බවද පැමිණිල්ල කොමිසමට දැනුම් දී ඇත. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (03) කැඳවීමට නියමිතව තිබූ බවද එහිදී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමටද මෙම පොලිස් කොස්තාපල්වරයා අදාල මුදල ඉල්ලා ඇති බවද සඳහන් වෙයි.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපාය දූතයන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් එම අධිකරණයේ වැසිකිළියේදී සැකකරුට අල්ලස් මුදල ලබාදීමේදී ඔහු අත්අඩංගුවට ගත් බවද කොමිසම සඳහන් කරයි. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතාන මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
-නිමන්ති රණසිංහ-
0 Comments