ඊයේ නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්හිදී කොරෝනා රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ සමුගැනීම දේශපාලන ලෝකය මෙන්ම පොදුවේ සමාජය කම්පනයට පත්කරන ආරංචියක් වී තිබේ.
ඊට හේතුව අගොස්තු මුල් සතියේත් හොඳහැටි කතාබස් කරමින් මාධ්‍ය සාකච්ඡාවලට එක්වෙමින් කටයුතු කළ ඔහු හිටිහැටියේ ගිලන්වීමත් දින 11 ක් තුළ ජීවිතය අවසන් කරන්නට සිදුවීමත්ය. ජීවිතයේ අස්ථිර බව මෙන්ම කොරෝනාවේ භයානකකම මෙම මරණය තුලින් පසක්කර දී ඇත.
65 හැවිරිදි හිටපු ඇමතිවරයා නිතරම සිගරට් බොන්නට පුරුදුවූ අයෙකි. ඔහුට දියවැඩියාව තිබුණි. වකුගඩු ආබාධ තිබුණි. ඒවා නිසා ඔහු නිතිපතා ඖෂධ ලබාගනිමින් සිටියේය.නමුත් ඒවා පාලනය කර තිබූ ඔහුට හිටිහැටියේ පරලොව යන්නට තරම් එම අමාරුකම් උත්සන්නව නොතිබුණි.
මංගල කොරෝනාවට එරෙහි ෆයිසර් එන්නත මුල්කාලයේම ලබාගත් අයෙකි. ඔහු එහි දෙවන මාත්‍රාවද සම්පූර්ණ කර විශ්වාසයෙන් කටයුතුකරමින් සිටියේය. නමුත් ඔහු ඩෙල්ටාව ඉදිරියෙහි අසරණ විය.
ලංකා හොස්පිට්ල් වෙත මංගල ඇතුළත් කරන අවස්ථාවේ ඔහු හොඳටම අසාධ්‍ය ලක්ෂණ පෙන්නුම් කළ නමුත් ඉක්මණින්ම ඔහු යථා තත්වයට ගන්නට ඔහුව භාර කළ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන කටයුතු කළේය. කොරෝනා ආරංචිය ආ ලංකාවේ මුල්කාලයේ එම රෝගය වැළඳුණ මුල්ම වෛද්‍යවරයා වූයේද වෛද්‍ය ප්‍රියංකරයි.
ඔහු මාධ්යඉදිරියට ඇවිත් තම අත්දැකීම ගැන ඒ කාලෙය් විස්තරද ඉදිරිපත් කළේය. මංගලගේ දියවැඩියා රෝග තත්වයන්ට නිතිපතා ප්‍රතිකාර කරමින් සිටියේද එම වෛද්‍යවරයා වන අතර ඔහුගේ වෛද්‍ය වාර්තා ගැන හොඳ අධ්‍යයනයකින් යුතුව ප්‍රතිකාර සිදුකර තිබුණි.
මංගල අසනීප වූ අවස්ථාවේ ඔහු සුවකරන්නට හැකි ඕනෑම උදව්වක් ලබාදිය හැකි බව පවසමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් රැසක් ඉදිරිපත්වී තිබුණි.
කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී ලබාදෙන විරල ඖෂධයක් TOCILIZUMAD සොයාදීමටද ඔවුන් කටයුතු කරන ලදි. රුපියල් ලක්ෂයකට වඩා වටිනා නමුත් අධික ඉල්ලුම නිසා රුපියල් මිලියනයටවත් දැන් එම ඖෂධය සොයාගන්නට බැරි බව ප්‍රසිද්ධ කරුණකි.
එය සොයා මංගලට ලබාදීමෙන් පසු ඔහුගේ තත්වය යහපත් අතට හැරී ඇති බවටද වාර්තා විය.
ඔහු එය නිසා සුවදායි ලක්ෂණ පෙන්නුම් කළ නමුත් ‘සමාජ මාධ්‍ය දේශපාලනය‘ ඔහු දින කිහිපයකට පෙර ‘මරා දැම්මේය‘. වෛද්‍ය ජයවර්ධනට එම ප්‍රචාර අසත්‍ය බවත් ඔහුගේ තත්වය යහපත් බවත් කියන්නටද සිදුවිය.
මංගල ඇත්තටම යහපත් සෞඛ්‍ය තත්වයට පත්ව සිටියේය. රෝගය නිසා රෝහල්ගතවූ 11 වන දිනයේ ඔහු මියයන්නට පෙර 10 වන දිනයේ ඔහු සතුටින් ගත කළේය. ඉක්මණට ටිකට් කපාගෙන මට එන්න පුළුවනි යයි ඔහු මිතුරන්ට පවසා තිබුණි. එම මිතුරන් අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා මෙන්ම හිටපු අගමැති රනිල්ද විය.
රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත නිකුත් කළ ශෝක නිවේදනයේද ඔහු තමා පෙරදින දහවල් ඇමතු හැටිත් රෝහලින් ආ පසුව වැඩ අරඹන හැටිත් කථා කළ බව සටහන් විය.
නමුත් 11 වනදා උදේ ඔහු අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියේය.
වෛද්‍යවරුන් දන්වා සිටියේ කොරෝනාව නිසා දුර්වලව සිටි ඔහුට මරණීය හෘදයාබාධයක් වැළඳෙන්නට ඇති බවයි.
මීට ටික දිනකට පෙර රාගම රෝහලේදී මියගිය වෛද්‍ය මොහොමඩ් ජනාන්ද මේ ආකාරයට කොරෝනා නිසා මියගියේ මරණයට පෙරදිනයේ රෝගය සුවවී ඇති බව ප්‍රකට කරවූ මොහොතකදීය.
මංගලගේ සමුගැනීම බොහෝ අයට කම්පනයට හේතු විය.
දශක තුනකට ආසන්න කාලයක් ලංකාවේ මුල්පෙළේ ක්‍රියාකාරීවූ දේශපාලන චරිතයක් මේ ආකාරයට ජීවිතක්ෂයට පත්වීම මෙන්ම මහා ජනකායකට නායකත්වය සපයා තිබූ ඔහු ඉතා සුළු පිරිසකගේ අවසන් බුහුමන් මැද රහසින් මෙන් නික්ම යාමද එම කම්පනය තීව්ර කර ඇත.
0 Comments