පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අගුලු දැමීමක් (ලොක්ඩවුන්) සිදුනොකරන නමුත් විවාහ මංගල්‍යයන් වැනි එක්රැස්වීම් සිදුවන අවස්ථාවල සීමා පැනවීමට කටයුතු කරන බව යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම තීරණ ගෙන ඇත්තේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (06) පැවති සාකච්ඡාවකදීය.
 
විවාහ මංගල හෝ වෙනත් උත්සව පවත්වන ශාලා තුළ ආසන සංඛ්‍යාව 500ට වැඩිනම් පමණක් උපරිම 150 දෙනෙකුට  සහභාගී විය හැකි අතර, ආසන සංඛ්‍යාව ඊට අඩුනම් සියදෙනෙකුට පමණක් එම උත්සවය සීමා කෙරෙනු ඇත.

අවමංගල්‍යයකදී එක්වරකට සහභාගී විය හැකි වන්නේ 25 දෙනෙකුට පමණි.

මේ අතර, යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතන වල ප්‍රධානීන් හට අවශ්‍ය ලෙස සුදුසු පරිදි රැකියාවට ගෙන්වාගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි.

තවද, සැප්තැම්බර් 01දා තෙක් සියලු රාජ්‍ය උත්සව කල්තැබිය යුතු බවද ඔහු පැවසීය.